“ඇප” (Bail) ගැන දැනගනිමු .. …

, , Leave a comment

“ඇප” (Bail) ගැන දැනගනිමු ..

අපිට ඇප තියන්න,ඇප අත්සන් කරන්න වෙන අවස්ථා විවිධයි.
සමහර විටක බැංකු ණයක් ගන්න යාළුවාට ඇප වෙන්න වෙනවා.එහෙම නැත්නම් රජයේ සේවයට යන දරුවෙකුගේ ඇපකරයකට අත්සන් කරන්න වෙනවා.වාහනයක් ලීසිං කරන කොටත් ඇපයක් ඕනේ.මේ ටිකට වඩා දැනගෙන ඉන්න ඕන ඇපේ තමා..
” අධිකරණය ඉදිරියේ යමෙකුට ඇප වීම ”

යම් වරදක් සම්බන්ධයෙන් පොලිස් අත්තඩංගුවට ගන්නා ඕනෑම සැකකරු පැය 24 ක් ඇතුලත ශක්නුවත් මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියට ඉදිරිපත් කරනු ලබනට අවශ්‍යයි.

එලෙස සැකකරුවකු B වාර්තාවක් මගින් වරද සම්බන්ධයෙන් විස්තර කරලා වරද විස්තීර්ණ පනත සහ වගන්ති ගැන පොලිසිය විස්තරයක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනවා.

එහිදී අධිකරණය සලකා බලන පලමු කරුණක් වන්නේ එය අපරාධ නඩු විධාන සංග්‍රහය 2 වන උපලේඛනයේ සදහන් සඥේය වරදක් ද?සඥේය නොවන වරදක් ද ? යන්නයි. එනම් ඇප දියහැකිද?නොහැකිද?ඇප නියම කරන්න බලය තියන අධිකරණය කුමක්දැයි එහිදී විමසා බලනවා.

මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇපදීමේ බලය තියනවා නම්.ඊලගට බලන්නේ සිදුවීමේ බරපතල බව. විමර්ශනයේ ප්‍රගතිය,වෙනත් සැකකරුවන් අත්තඩංගුවට ගැනීමට සිටීම,මහජන කැළඹීමකට හේතු තියනවාද,වගේ දේවල්.මෙහිදී ඇප පනතේ සදහන් ප්‍රතිපාදන වෙත අධිකරණය යොමුවිය යුතුයි.

ඒ අනුව අධිකරණය සැකකරුවකු වෙතට ඇප දීම රීතිය කොට ගනිමින් පොලිසියේ වාර්තා සහ සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කරණ නීතිමය සහ සිදිධිමය කරණු සලකා බැලීමක් කරනවා. මෙහිදී නීතිඥ නියෝජනයක් අවශ්‍ය වෙනවා කරුණු දක්වන්න
මක් නිසාද යත්; ඇප ලැබීම තීරණය වීමෙහි ලා සැකකරුවකු වෙනුවෙන් සිදුකරන කරුණු දැක්වීම තීරණාත්මකයි.එහිදී නීතිඥවරයකු සතු කාර්‍ය්භාරය සාධනීයයි. බොහෝ විට පොලිසියේ උසාවි සැරයන්වරයා සැකකරු දින දහහතරක් බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලනවා.

ඇප පනතේ 14 සහ 17 වගන්ති මෙහිදී වැදගත්.මෙහිදී අධිකරණය ඇප නොදී සිටීමට කරුණු සොයනවාට වඩා,ඇප නොදී නොසිටීම විෂයෙහි කරුණු සලකා බැලීම,නීති විද්‍යාවෙහි කියවෙන නීතිය මානූෂීය විය යුතු බවට පවත්නා සිද්ධාන්ත අනුව යන්නක්.

මෙහිදී සැකකරු ඇප ලබාගැනීමට අදාලව සුවිශේෂී කරුණු කිහිපයක් උසාවියට ඒත්තු ගන්වන්න ඕන ඒ වගේම වරදට අදාල නෛතික තත්වය සහ අදාල පනත් හි සදහන් නීතිමය තත්වයන් යටතේ ගරු අධිකරණයට ඇප ලබාදීම සදහා බලයක් ඇති බව සහ ඇප නොදී සිටීමට තරම් හේතු නොපවතින බවත් ඒ අනුව සැකකරු වරද පිළිබඳ පසුතැවෙන බවත්, අධිකරණය සෑහීමකට පත්වන ලෙස ඉදිරිපත් කිරිමේදී නීතිඥවරයකු ගේ භූමිකාව වැදගත්.

නීතිඥ වෘත්තියේ Practicing Criminal Lawyer කෙනෙක් විදිහට නම හදාගන්න ඇප ගන්න තියන හැකියාවත් ප්‍රමුඛ සාධකයක්.
මේ විදිහට වැඩේ වෙලා ඇප මත මුදා හැරීමේදී, ප්‍රධාන වශයෙන් ඇප වර්ග කිහිපයක් යටතේ මුදා හැරීම සිදු කෙරෙනවා.
එහිදි මූලික වශයෙන් වන ඇප වර්ග වනුයේ…

* මුදල් ඇප (Cash Bail)

* ශරීර ඇප (Suerty Bail) සහ

* දේපල ඇප (Property Bail)

මීට අමතරව පොලිස් ස්ථානාධිපති කෙනෙක්ට බලය තියනවා ඇප දෙන්න.
උදා – බීලා වාහන එලවලා…අවේලාවේ පාර තොටේ ඉදලා..වගේ සුළු වැරදි වලට

* පොලිස් ඇප (Police Bail)
දෙන්න පුලුවන්.
මෙවැනි ඇප මත මුදා හැරීමේදී තමන්ටම ඇප අත්සන් කරන්න දෙනවා.නඩු පවරා නඩු දිනයක් හෝ පසුව සිතාසි එවන්නත් පුලුවන්.එහෙම නති නම් සමථ මණ්ඩලයට හෝ පොලිසිය වෙත කැදවන අවස්ථා තියනවා.

ඇප දීම යටතේ සිදුවන්නේ කිසියම් සැකකරුවෙකු නඩුවක් පවතින අතරතුර මුදා හැරීමක්.ඇපයක් මත මුදා හැරීම සිදු කිරීම විෂයෙහි මුඛ්‍ය කාරණය වනුයේ.. සැකකරු අධිකරණය වෙත නැවත කැඳවා ගැනීමට පවත්නා අවශ්‍යතාවයි.1997 ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාර එලෙස ඇපයක් නියම කර මුදා හැරීම දණ්ඩනයක් නොවන අතර.ඇප නොලැබ බන්ධනාගාර ගත වීමද දඩුවමක් ලෙස ගැනෙන්නේ නැත. ඒ වගේම ලබන ඇපය ද, කිසිදු විටෙක දඬුවමක් ලෙස නොසැලකේ.

මෙහිදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් මුදාහරිනු සැකකරුවකු වෙනුවෙන් ඇපකරු ලෙස ඉදිරිපත් වන තැනැත්තා නැවත නඩුව කැදවීම කරන සෑම දිනෙකම අධිකරණය වෙත ගෙන්වා ගැනීම සදහා වගකීමෙන් බැදීමක් වෙනවා.

ඒවගේම අධිකරණය සැකකරු අධිකරණය මගහැර නොයන ස්තාවරය ගැන්නේ ඒ සම්බන්ධයෙන් වන සුදුසු ඇපකරයක් නියම කරන ගමන්.

එනයින් සලකා බැලීමේදී ඉතාමත් සුලු අපරාධ වන විටෙක ( සුළු සොරකම්, අයුතු ඇතුළුවීම් වැනි) අධිකරණය විසින් සැකකරුවකු වෙත මුදල් ඇප හෝ දේපළ ඇප හෝ සහතික ඇපයක් නියම කරලීමකින් තොරව ශරීර ඇප නියම කරනු දැකිය හැකි.

ඒ යටතේ වන ශරීර ඇප මුදල නියම කරලීමේදී සිදුකරන ලද අපරාධයේ වටිනාකමට සමානුපාතිකව ඇප නියම කරනවා යැයි සිතනවා නම් මිත්‍යාවක්. සැකකරු මීලඟ නඩු දිනයන්හි අධිකරණය වෙත ගෙන්වා ගැනීම අරමුණු කොට ගෙන සුදුසු මුදලක් ශරීර ඇපයක් වශයෙන් නියම කරනු ලැබේ.මෙලෙස ශරීර ඇපයක් නියම කල විටෙක එකී වටිනාකම සදහන් කොට යම් පුද්ගලයෙකු එකී සැකකරු වෙනුවෙන් බැඳුම්කරයකට අත්සන් තැබීම සිදුකල යුතු අතර ඇපකරුවා සැකකරු සමග මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණවනවා.
ඇපකරුගේ තොරතුරු නඩු ගොණුවේ සටහන් තබන විනිසුරුතුමා නඩු ගොනුව රෙජිස්ට්‍රාර් වෙත යැවූ පසු ඇපකරු අදාල ලේඛන ටික අත්සන් කරලා එතනින් දෙන රිසිට් එක බන්ධනාගාර නියාමකට දුන්නහම කූඩුවේ ඉන්න සැකකරු එලියට දෙනවා. එහිදී කිසිදු මුදලක් අධිකරණයෙහි තැන්පත් කරන්න අවැසි නෑ.

ඇපය අත්සන් තබන තැනැත්තා හට එම සැකකරුව සැම නඩු වාරයක් පාසා අධිකරණය ඉදිරියට නඩුව අවසාන වන තුරාවට ඉදිරිපත් කරලීමේ වගකීම පැවරෙනවා.

කිසියම් හේතුවක් නිසා සැකකරු අධිකරණයට ඉදිරිපත් කල නොහැකිවීම හෝ සැකකරු අධිකරණය මගහැරයාමක් සිදුකල කල්හි,ඇපකරු එලෙස අත්සන් කරන ලද ශරීර ඇපයේ වටිනාකම රාජසන්තක නොකිරීමට හේතු දැක්වීමට අවස්ථාව සලසා දී ඒ අනුව ඉදිරිපත් වන හේතූන් මත අධිකරණය විසින් ඉදිරි පියවර ගැනීම සිදු කෙරේ.ඒ වගේම ඇපකරු වෙනුවෙන් ද ඇපයක් තියන්න වෙනවා.ඇපවූ මුදල නොගෙවන්නේ නම් මාස තුන දක්වා ලිහිල් වැඩ සහිත සිර දඩුවම් නියම කරන්න අධිකරණයට අභිමතය තියනවා.

ශරීර ඇප නියම කිරීමේදී වරදේ ස්වභාවය සහ විමර්ශනයේ ප්‍රගතිය කෙරෙහි අවධානය යොමු කරනවා.ඒ අනුව ඇප නියම කිරීමේදී කොන්දේසි ලෙස.

* ශරීර ඇප කීපයක්
* ඇපකරුවෙකු ලගම ඥාතීන් වීම.
* ඇපකරු රජයේ සේවකයෙක්.
* ඇපකරුවන්ගේ පදිංචිය සනාථ කරන්න ග්‍රාම නිලධාරී සහතික
නියම කරන අවස්ථා බහුලයි.
සමහර සැකකරුවන්ට ඇප කොන්දේසි සපුරා ගන්නට නොහැකි වත් රක්ශිත බන්ධනාගාර වල ලගින්න වෙලා තියනවා.
උදා – පොල් ගෙඩිය හොරකම් කල අයෙකුට ඇපකරු ලෙස රජයේ සේවකයෙක් වගේ නියම කලහම වගේ වෙලාවට…

මෙහිදී සිදුකරන ලද වරදෙහි ස්වභාවය යටතේ වන එකී වරද නිසාවෙන් අහිමි වූ හෝ නඩු නිමිත්තෙහි වටිනාකමට සමානුපාතිකව (උදා- ගවයකු සොරකම් කරන ලද විටෙක ගවයාගේ වටිනාකම අනුව) ශරීර ඇප මුදල තීරණය වන්නේ නැහැ.ගවයාගේ වටිනාකම තීරණය වන්නේ නඩු විභාගයේදී.

මීලග ඇපය තමයි.මුදල් ඇප.(Money Bail)

එහිදී අධිකරණය නියම කරන මුදල් ප්‍රමාණය අධිකරණයේ තැන්පත් කලයුතුයි.එය සැකකරු විසින් හෝ වෙනත් ඇපකරුවෙකු මගින් සිදු කල හැකියි.නඩුව අවසන් වූ පසුව අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත ඉල්ලීම කරලා ඇප මුදල් ගන්න පුලුවන්.නඩුවෙන් නිදහස්වීමත් මෙහිදී වැදගත්.වංචාව,සාවද්‍ය පරිහරණය,මුදල් සම්බන්ධ වැරදි,සොරකම්,දේපල හානි,වගේ ඒවායෙදි මුදල් ඇප නියම කරනවා.

තෙවැන්න, දේපල ඇප (Property Bail)

මෙහිදී ඇපය ලෙස ඉඩමක ඔප්පුවක්,සමාගම් කොටස්,වාහනයක ලියාපදිංචි ලේඛන,සුරැකුම් පත්,විනිමය බිල්පත්,වගේ මූල්‍ය වටිනාකමක් සහිත නිෂ්චල හෝ චංචල දේපලක් අධිකරණයේ සහතික ඇපයක් ලෙසින් තබා ගන්නවා.මෙවැනි ඇප නියම වෙන්නේ මූල්‍ය වංචා,අල්ලස් හෝ දූෂණ,චෙක්පත් වංචා,සාපරාධී පරිහරණය,පොදු දේපල පනත ප්‍රකාර වගේ වැරදි කරපු අවස්ථා වලදී.මෙම ඇප ද නඩුව අවසාන උනාට පස්සේ ගන්න පුලුවන්.නිදොස්වීම තමා වැදගත්.ඒ වගේම යම් සැකකරුවකු වෙත නියමවන වන්දියක්,දඩයක් වැනි අයකිරීමක් සදහා යොදා ගන්නත් පුලුවන්.

මේ ඇප වර්ග මහේස්ත්‍රාත් අධිකරණයේ වගේම මහාධිකරණයේදීත් එලෙසින්ම යොදා ගනු ලබනවා.ඒවගේම අවස්ථානුකූලව අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ද ඇප නියම වෙනවා.

ඒ වගේම තමයි ශරීර ඇපයකට අමතරව මුදල් ඇප හෝ සහතික ඇප තබන්න අධිකරණය නියම කරනවා.ඒවගේම තමයි ඇතැම් සැකකරුවකු වෙත ඇප කොන්දේසි සදහා උදාහරණ ලෙස,

* ඉරිදා දිනෙක CID වෙත පැමිණ අත්සන් කරන්න,
* නියම කරන දිනයක හා නිශ්චිත වෙලාවක් අතර වංචා විමර්ශන කාර්‍යංශයේ පොත අත්සන් කිරීම.
* විදේශ ගමන් තාවකාලිකව නැවැත්වීම
* පාස් පෝට් අධිකරණය භාරයට ගැනීම
* සානුකම්පිත දීමනාවක්
වගේ අතිරේක කොන්දේසි නියම කිරීමේ අභිමතය අධිකරණය සතුයි.

ඒ නිසා බැංකු ණයකට ඇප අත්සන් කලා වගේ නෙවේ.අධිකරණයක් ඉදිරියේ සැකකරු වෙනුවෙන් ඇපකරුවෙකු වීම ටිකක් බරපතල කාරණයක්.

විශේෂයෙන් නොදන්නා,අධිකරණය මගහරින,මූල්‍ය වංචා කරපු,ඇතුලේ යන එන,විශ්වාස කල නොහැකි අයවලුන් වෙනුවෙන් ඇප වීමේදී කිහිප විටක් හිතන්න.

ළගම ඥාතියකු,සහෝදරයකු වගේ අයකු ඇප තියන්න දෙවරක් සිතන්න එපා.මන්ද යත්; සැකකරු වරදකරුවකු ලෙසින් අධිකරණය තීරණ කරන තුරු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඔහු සතු අයිතිවාසිකම රැක ගන්න. යමෙකුට ඇප වීම,මානුෂීය කරුණක්.

සමහර අපරාධ වැරදි වලට නඩුව විභාග වන අධිකරණයෙන් ඉහළ අධිකරණයක් වෙත ඇප ඇයදුමක් කරන්න වෙන අවස්ථා නීතිය තුල තියනවා.
උදා-විෂ,අන්තරායකාරී මත්ද්‍රව්‍ය හා ඖෂධ පනතේ 54 ‘අ’ සහ ‘ආ’ වගන්තිය සහ 78 වගන්තිය ප්‍රකාර වැරදි වලට නිසි බලය ඇති මහාධිකරණයක් වෙත ඇප අයදුම් පතක් යොමු කරලා ඇප නියෝගයක් ගන්න වෙනවා

ඇප ලැබුනා කියලා නඩුවෙන් නිදහස් උනා කියලා නම් හිතන්න එපා.ඉන් පස්සේ තමයි නියම නඩුව පටන් ගන්නේ..
ඒ ගැන වෙනම කතා කරමු

සටහන :
නීතිඥ ප්‍රබුද්ධ තිසරනාත් දහනායක

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම