තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතිය…

, , Leave a comment

තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතිය ගැන ලියවුනු පළමු සටහනෙදි අපි කතා කලේ ඒ හා සබැඳි ඉතිහාසය,තොරතුරු සහ දත්‍ත ගැන.
ඒ ඔස්සේ සෑම පුරවැසියෙකු වෙතම රාජ්‍ය අංශයේ තොරතුරු වෙත ප්‍රවේශයක් ලැබෙන්නේ
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ. මෙහි ප්‍රස්තාවනාවේ කියැවෙන්නේමහජනයාට තොරතුරු වෙත ප්‍රවේශවීම පිණිස ක්‍රියාත්මක වන පනතක් බවයි. මෙම පනත ගැන විශාල ආන්දෝලනයක් එසමයෙහි පැවතුනා.
ලංකාවට එරෙහිව ජිනීවා හිඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙයේ පවා නිර්දේශ ඉදිරිපත් වූ මෙම පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවේ 2016 ජූනි 24 වැනි දිනය. එලෙස සම්මත වූ මෙම අගනා පනත අමාත්‍යාංශ සහ රාජ්‍ය අධිකාරීන් සඳහා බලාත්මක වන්නේ 2017 පෙබරවාරි 03 වැනි දින සිටය.

පනතේ 3 (1) වගන්තිය
අනුව සෑම පොදු අධිකාරයකම සන්තකයේ,භාරයේ හෝ යටතේ පවත්නා ඕනෑම තොරතුරකට දත්තයකට ප්‍රවේශය සඳහා අයිතිය සෑම පුරවැසියකුටම පවතින බව සඳහන් වෙනවා.
ඒ අනුව සෑම අමාත්‍යාංශයක් විසින් ඔවුන්ගේ සෑම අංශයක් සඳහාම තොරතුරු නිලධාරීන් පත්කල යුතු බව පනතේ V ,වන පරිඡේදයේ 23 වගන්තිය ප්‍රකාර නියෝග කරනවා.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ප්‍රකාර අමාත්‍යාංශයේ අංශයන් සඳහා වගේම දෙපාර්තමේන්තු,අධිකාරීන් සහ සංස්ථා සඳහා පනත පනවා මාස 3ක වගකිවයුතු නිලධාරීයකු හෝ කීප දෙනෙක් තොරතුරු නිලධාරීන් ලෙස පත්කල යුතුවෙනවා.
මේ කටයුතු උදෙසා අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු ආදියේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සඳහා වූ වෙනම අංශයන් පවා පිහිටුවා තිබෙනවා.

පනතෙහි 25(2) වගන්තිය ප්‍රකාර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතට අදාළව ඉදිරිපත් වන ඉල්ලීම් සඳහා රාජ්‍ය අධිකාරීන් දින 14 ක් තුළ ප්‍රතිචාර දැක්විය යුතු අතර, විශේෂ අවස්ථාවන්වලදී ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ කාලසීමාව උපරිම වශයෙන් දින 21 ක් දක්වා දීර්ඝ කරගැනීමට හැකියාව පවතින බවටද විධිවිධාන ඇතුලත්.

මෙම පනතට අනුව යම් තොරතුරක් ලබාගැනීම වෙනුවෙන් පහත දැක්වෙන පත්‍රිකාව ආකෘතිය ලෙස යොදා ගන්න පුල්වන්.නමුත් එය පිරවීම අනිවාර්යය නොවන අතර, ඒ වෙනුවෙන් ලිඛිතව ඉදිරිපත් කරන ලිපියක්, විද්‍යුත් තැපෑල හරහා යොමු කෙරෙන පණිවිඩයක් හෝ වාචිකව ඉදිරිපත් කෙරෙන පණිවිඩයක් වුවද ඉල්ලා සිටින තොරතුරු කවරේද යන්න හඳුනාගැනීමට ප්‍රමාණවත් වන බවත් පනතේ 24 (1) වගන්තියහි සඳහන් වෙනවා. එහිදී නිලධරයා විසින් ලිඛිත සටහන් කිරීමක් කලයුතු වෙනවා.
මෙම සටහන අවසානයේ ඇමුණුම “අ” ලෙස ඇතුලත්ව ඇති පත්‍රිකාව මේ සඳහා යොදාගන්න පුලුවන්.එය ඔබට අවශ්‍ය විටෙක copy කරගත හැකි ලෙසයි තිබෙන්නේ.
පනතේ කොටසෙහි 5 වන වගන්තියේ සහ උප වගන්තීන් වල තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කලහැකි සහ ප්‍රවේශය ලබා දිය නොහැකි සීමා කිරීම් සඳහන් වෙනවා.
ඒ අනුව ඉල්ලා සිටින තොරතුර
* යමෙකුගේ පුද්ගලිකත්වයට සම්බන්ධනම්
* රාජ්‍ය ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවට අදාල නම්,
* රහසිගත රාජ්‍යතාන්ත්‍රික හෝ ජාත්‍යන්තර ගිවිසුමක් නම්,
* රාජ්‍ය මූල්‍යය සහ ආර්ථිකය උදෙසා බලපෑමක් කල හැකි නම්,
* බුද්ධිමය දේපල,වෙළද රහස් ආදිය(විශාල මහජන සුභසිද්ධියලට සම්භන්ධ විට ලබා දෙයි)
* නීතිපතිවරයා විසින් රාජකාරී මට්ටමෙන් සිදුකරන යමක්,
* භාරකාරත්වය රහසිගතව තබාගත යුතු දෙයක්,
සම්භන්ධ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කල හැකියි.ඒවගේම
* යම් අපරාධයක් වසන් කිරීමට, තොරතුරු සොයා ගැනීමට හෝ සැකකරුවන් අල්ලාගැනීමට තුඩු දෙන තොරතුරක්,
* නීතිය බලාත්මක කිරීමට සහ රාජ්‍ය ආරකෂාවට අදාල තොරතුරක්
ලබා නොදී සිටීමට ඒ අනුව තොරතුරු නිලධාරියාට හැකියාවක් තියනවා.
ඉල්ලුම් කල තොරතුරු නොදෙන විටෙක හෝ ප්‍රතික්ෂේප කරන විටෙක අභියාචනය කිරීම සඳහාත් පනත යටතේ පනවා ඇති නියෝග ප්‍රකාර පොදු අධිකාරීන් කටයුතු කරන්නෙද?යන්න අධීක්ෂණය,ගාස්තු තීරණය,වාර්තා ආදිය නිසි පරිද් පවත්වාගෙන යාමසහ මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා පනතේ IV වන කොටසේ 11 වන වගන්තිය ප්‍රකාර කාර්‍ය්භාරක් පවරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ කොමිෂන් සභාවක් ස්ථාපිත කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන පස් දෙනකුගෙන් යුත් මණ්ඩලයක් මෙම කොමිෂමේ නිලධාරීන් ලෙස කටයුතු කරනවා.
යම් අධිකාරයක් හිමි රාජ්‍ය ආයතනයකට නියෝග දීම,කැඳවීම,පරීක්ෂණ සිදු කිරීම,අභියාචනා විභාග කිරීම, තොරතුරු රහසිගතවපරීක්ෂා කිරීම,ගාස්තු නියම කිරීම කොමිෂමට හැකි බවට බලතල විස්තීරණ 15 වන වගන්තියේ සඳහන් වේ.

ඉල්ලීමක් ප්‍රතික්ෂේප කලවිටක අභියාචනා කිරීමේ ක්‍රමවේදය පනතේ VI වන කොටසේ 31 වගන්තියේ සඳහන් වෙනවා.

ඒ අනුව නියම කර සිටින නිලධාරියාට දින 14 ක කාලයක් ඇතුළත අභියාචනයක් සිදුකළ යුතුය.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙම පනතේ VI වැනි කොටසේ සඳහන් වන පරිදි අභියාචනයක් සිදු කිරීමේදී එය සම්පූර්ණ කර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතහි අන්තර්ගත 10 පෝරමයෙන්, නියම කර සිටින නිලධාරියාට භාරදිය යුතුය. මෙකීතොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ 10 පෝරමය අනිවාර්යය එකක් නොවේ. ඉල්ලීමක් සිදුකරන පුරවැසියෙකුට ලිපියක් මඟින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතහි 10 පෝරමයෙ දක්වා ඇති පරිදි මූලික තොරතුරු සඳහන් කරමින් ආයාචනයක් සිදුකළ හැකි අතර, එම ආයාචනය සාධාරණියකරණයද කළ යුතුය. තොරතුරු නිලධාරියා තොරතුරක් ලබාදීම වෙනුවෙන් සිදුකළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම
පස්වැනි කොටස යටතේ යම් තොරතුරක් ලබාදීමෙන් නිදහස් කරන පදනම යටතේ තොරතුරු වෙත ප්‍රවේශවීම අදාළ නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම
පනතේ නියම කර ඇති කාල රාමු සමඟ අනනුරූපතාව
තොරතුරු නිලධාරියා විසින් අසම්පූර්ණ, නොමඟ යවන හෝ සාවද්‍ය ලබාදීම
තොරතුරු නිලධාරියා අධික ගාස්තුවක් අයකර සිටීම
තොරතුරු නිලධාරියා විසින් පත්‍රිකාවේ සඳහන් පරිදි තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර සිටීම
තොරතුරු ඉල්ලා සිටින්නාට ඒ වෙත ප්‍රවේශවීම වළක්වාලමින් ලබාදුන් තොරතුරු විකෘත කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බව විශ්වාස කිරීමට ප්‍රමාණවත් වන සාධාරණ පදනමක් තොරතුරු ඉල්ලා සිටින්නාට තිබීම ආදිය අභියාචනයේදී සලකා බැලේ.
ඒ සඳහා අදාල කර ගත හැකි අභියාචනය කිරීමට අදාල අයැදුම් පත්‍රය ඇමුණුම “ආ” ලෙස සලකුණු කර copy කිරීමට හැකි පරිදි මෙහි අවසානයේ ඇතුලත් කර ඇත.

අභියාචනා නිලධාරියා හෝ කොමිෂම වෙතින් සලකා බලා අභියාචනයක් සම්බන්ධයෙන් ලබා දෙන තීන්දුව ගැන සෑහීමකට පත් නොවන පුරවැසියකුට අභියාචනාධිකරණය වෙත යන්න හැකියාව ඇති බව පනතේ 34 වගන්තිය තුල සඳහන් වෙනවා.

තොරතුරු දැනගැනීමේ පනතේ 42 වැනි වගන්තිය ප්‍රකාරව එම කොමිසමට පැවරී ඇති බලතල යටතේ පහත සඳහන් රීති නියම කල හැක.

” 2017 තොරතුරු දැනගැනීමේ රීති ” වශයෙන් හඳුන්වනු ලැබේ.එහිදී වාර්තා සකස් කිරීම,අභියාචන සලකා බැලීම,පරීක්ෂණ කාර්‍යාපටිපාටිය අදාලවද, ගාස්තු සහ අභියාචන ක්‍රියාපටිපාටිය සබැඳිව ද
මෙම රීති 2017 පෙබරවාරි මස 03 වැනි දින සිට බලපැවැත්වේ.
ඊට ආනුෂංගිකව එන පනතේ අර්ථ නිරූපන යටතේ 43 වන වගන්තියේ දැක්වෙන කරුණු ඔබගේ දනුමට අවශ්‍ය වේවි.

” පනත ” යනුවෙන් හැඳින්වෙන්නේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතයි.

“කොමිසම”, ” තොරතුරු නිලධාරියා”‚ සහ ” රාජ්‍ය අධිකාරිය ” යනාදියට පනතෙන් අර්ථ දක්වා ඇති පරිදි සම අර්ථකතන හිමිවේ.

” අභියාචකයා” යන්නෙන් හැඳින්වෙන්නේත් ඇතුළත්වන්නේත් පනතේ 32 වැනි වගන්තිය යටතේ තොරතුරු දැනගැනීමේ කොමිසමට අභියාචනා කරන පුරවැසියාය.

“කරුණු” යන්නෙන් හැඳින්වෙන්නේ තොරතුරු දැනගැනීමේ ඉල්ලීමක් හෝ අභියාචනයකට ප්‍රතිචාරයක් වශයෙන් ලබාදෙන තොරතුරුයි.
මෙහි භාවිත කර තිබෙන අනෙකුත් සෑම චවනයක්ම, ව්‍යක්තියක්ම එමෙන්ම මෙම නීති තුළ අර්ථ දක්වා නොමැති දේද ඒ වෙත පනතෙන් පවරන ලද අර්ථකතනයන්ට සමාන වේ.

ඕනෑම පුරවැඩසියකු රාජ්‍ය අධිකාරයක් වෙතින් ඉල්ලා සිටින තොරතුරු සඳහා කොමිෂම විසින් සකස් කරන ලද ගාස්තු ව්‍යුහක් තිබෙනවා.

අයැදුම්පත් ගාස්තු :

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අයැදුම් පත්‍රයක් ලබාදීම වෙනුවෙන් කිසිඳු රාජ්‍ය අධිකාරියක් විසින් තොරතුරක් ඉල්ලා සිටින පුරවැසියෙකුගෙන් ගාස්තුවක් අය නොකරයි.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ඉල්ලීමක් සක්‍රීය කිරීම පිණිස කිසිඳු රාජ්‍ය අධිකාරියක් විසින් කිසිඳු ගාස්තුවක් අය නොකරනු ලබයි.

තොරතුරු වෙනුවෙන් ගාස්තු :
නියම කර ඇත්නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරක් දැනගැනීම වෙනුවෙන් ඉදිරිපත් වී ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් රාජ්‍ය අධිකාරියක් විසින් අයකරන ගාස්තු පහත ඇමුණුම “ඇ” හි ඇතුලත් කර ඇත.

කොමිෂම වෙතින් නියමකර ඇති රීති අංක 4 යටතේ පවතින ගාස්තු තිබියදීත් චක්‍රෙල්ඛ හෝ රෙගුලාසි මඟින් රාජ්‍ය අධිකාරීන් විසින් නියම කර හෝ නිකුත් කරන ලද ගාස්තු සටහනක් ඇත්නම් එම ගාස්තු ලේඛනය ක්‍රියාත්මක වන අතර, පවතින ගාස්තු සටහන සම්බන්ධයෙන් නැගෙන අර්බුද හෝ ගැටළු ඒ සම්බන්ධයෙන් යොමු කෙරෙන අභියාචනයකට අදාළ වන අතර, ගාස්තු හා අභියාචනා පිළිබඳ නීති සම්බන්ධයෙන් කොමිසම කටයුතු කරනු ඇති.

* නොමිලේ සපයනු ලබන තොරතුරු :
ඉහත 4 වන රීතිය යටතේ පවතින දේ එසේ තිබියදීත්, රාජ්‍ය අධිකාරිය විසින් කඩදාසි පිටපත් 4 ක් (A4 ප්‍රමාණයේ) මත සකස් කරන තොරතුරු පිටපත් හෝ මුද්‍රිත වශයෙන් නොමිලේ සපයනු ලබයි.
සාමාන්‍ය වශයෙන් නොමිලේ ලබාදෙන තොරතුරු එලෙසින්ම අඛණ්ඩව නොමිලේ සැපයෙනු ඇත.

* ගෙවීම් සිදුකරන ක්‍රමවේදය:

මෙම නීති තුළ කුමක් සඳහන් වූවද එසේ තිබියදීත් තොරතුරු සැපයීම වෙනුවෙන් රාජ්‍ය අධිකාරය විසින් මෙවන් ක්‍රමවේද හරහා ගාස්තු අය කරනු ඇත:

*තොරතුරු නිලධාරියාට මුදල්මය වශයෙන් සිදුකරන ගෙවීම;
රාජ්‍ය අධිකාරියෙ ගිණුම් නිලධාරියා නමින් යොමු කෙරෙන බැංකු අණකරයක් මඟින්;
රාජ්‍ය අධිකාරියෙ ගිණුම් නිලධාරියා වෙත තැපැල් කාර්යාලයේ ගෙවීමක් හෝ ඇණවුමක් මඟින් යොමු කෙරෙන ගෙවීමක්.
කවර මාධ්‍යයකින් ගෙවීම සිදුකලද තොරතුරු නිලධාරියා විසින් රිසීට් පතක් නිකුත් කරනු ලබයි.
තොරතුරු වෙත ප්‍රවේශ වීම
විශාල පරිමාණයෙන් ඉල්ලුම් කෙරෙන තොරතුරු සඳහා, පුරවැසියෙකු ඉල්ලුම් කරන තොරතුරු ලබාදීමට පෙර ඒ වෙත ප්‍රවේශවීම සඳහා විවිධ ආකෘති සහ ඊට නියම වූ ගාස්තු පිළිබඳව ද,රාජ්‍ය අධිකාරියේ අභිමතය පරිදි කරුණු සටහන් කරගැනීම, පිටපත් කරගැනීම, හස්තගත කැමරාවකින් හෝ ජංගම දුරකතනයකින් අවශ්‍ය කරුණු ඡායාරූපගත කිරීමේහි පවතින හැකියාව පැහැදිලි කර දෙයි.
තොරතුරු ඉල්ලුම් කරන පුරවැසියාට ඒ වෙනුවෙන්වූ කරුණු වෙත ප්‍රවේශවීමට අවස්ථාව ලබාදීමට ප්‍රථම මෙහි සඳහන් 5 වැනි සහ 6 වැනි රීති පිළිගෙන ඒ අනුව නියම කර ඇති ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවිය යුතු වේ.
ක්‍රියාකාරී හෙළිදරව් කිරීම
පනතේ 8 වැනි වගන්තියට අනුව අමාත්‍යවරුන් විසින්ද, 10 වැනි වගන්තියට අනුව රාජ්‍ය අධිකාරිය විසින්ද ඉදිරිපත් කරනු ලබන වාර්තා පොදුවේ ගාස්තුවකින් තොරව අධීක්ෂණයට ලක්කිරීමට විවෘතව පවතින අතර, වෙබ් අඩවියකින් නොමිලේ බාගත කිරීම, ඉලෙක්ට්‍රොනික පිටපත් ඇතුළු පිටපත් යනාදිය තොරතුරු ඉල්ලුම් කරන පුරවැසියාට ඉහත නීතීන්ට යටත් ගාස්තුවලට ලබාදීමට සිදුවේ.

මේ පනත යටතේ පවත්නා සුවිශේෂී නීතිමය තත්වයක් ලෙස ‍යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අමාත්‍යවරයෙකු විසින් පනතේ 9 වැනි වගන්තියට යටත්ව එම ව්‍යාපෘතියට අදාළ සියළු මූලාශ්‍ර මහජන ප්‍රවේශයට විවෘතව තැබිය යුතු බවට වන ප්‍රතිපාදන පෙන්වා දිය හැකිය. එවන් මූලාශ්‍ර නොමිලේ අධීක්ෂණය සඳහාද, වෙබ් අඩවියකින් නොමිලේ බාගත කර පිටපත් එය ඉල්ලුම් කරන පුරවැසියා වෙත ඉහත නීති යටතේ නියම කර ඇති ගාස්තුවලට ලබාදීමටද කටයුතු කළ යුතුය.
පුරවැසියකු ලෙස ඔබ ගෙවන බදු මුදලින් අමාත්‍යාංශ‍යක් කරන ව්‍යාපෘතියක් පිළිබඳ ඔබ දැනුවත් වීමට ඇති අයිතිවාසිකම මෙහිදී ආරක්ෂා වෙනවා.
නමුත් ප්‍රායෝගිකව එලෙස විමසා බැලීමක් වෙන්නේ නෑ.

* ගාස්තු සම්බන්ධ අභියාචනා :
අත්‍යාවශ්‍ය ගාස්තුවට වඩා මුදලක් තොරතුරු නිලධාරියා තමන් අය කලේය යන විකල්පය තොරතුරු ලබාගත් පුරවැසියාට ඇතිවී නම්, සැබැවින්ම ගෙවිය යුතු ගාස්තුව පිළිබඳව පනතේ 31 වැනි වගන්තියට අනුව තොරතුරු දැනගැනීමේ රෙගුලාසිවලට අදාල ආකෘතිය අනුගමනය කරමින් තොරතුරු නිලධාරියා සිදුකළ දැනුම්දීමෙන් පසුව, ඔහුට / ඇයට නියම කර සිටින නිලධාරියා වෙත දින 14 ක කාලයක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.
නියම කර සිටින නිලධාරියා ලබාදෙන තීරණය පිළිබඳව ඔහු හෝ ඇය සෑහීමකට පත්නොවන්නේ නම්, තීරණය ලබාදී මාස දෙකක් ඇතුළත පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරව අභියාචනය ක්‍රියාවලියක් සම්බන්ධව දක්වා ඇති නියමයන් ප්‍රකාරව අභියාචන කොමිසම වෙත එවැන්නකි ඉදිරිපත් කළ හැකිය.
නියම කර සිටින නිලධාරියා සහ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කිසිඳු ගාස්තුවක් කළ යුතු නොවේ. අභියාචනා අයැදුම්පත් නොමිලේ නිකුත් කළ යුත්තකි.
සාර්ථක අභියාචනයකින් ගාස්තුවලින් නිදහස් කිරීම
තොරතුරක් ඉල්ලා සිටින පුරවැසියා නියම කර සිටින නිලධාරියා වෙත හෝ කොමිසම වෙත අභියාචනයක් හරහා සිදුකරන ඉල්ලීම සාර්ථක වන්නේ නම් ඒ වෙනුවෙන් ගාස්තුවක් අයකළ යුතු නැත.

ගාස්තු නැවත අයකර ගැනීම
පනතේ නියම කර ඇති කාලසීමාව තුළ තොරතුරු නොසැපයීම වෙනුවෙන් පනතේ 15 වැනි වගන්තිය (g) ප්‍රකාරව අය කළ ගාස්තුවක් වේ නම් එය නැවත ගෙවන්නැයි කොමිසම විසින් රාජ්‍ය අධිකාරියට නියෝග කරනු ඇත.

තොරතුරු පිළිබඳ දැනගැනීමට ඔබ සතුව අයිතියක් ඇත.
ඒවගේම ඔබේ බදු මුදල්ට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ඔබට වගකීමක්ද ඇත.
නීතිය නොදත් කමින් අගතියට පත් නොවී…..
නීතිය දැනගෙන….අපි අපේ අයිතිවාසිකම් දිනා ගනිමු…
සටහන – ප්‍රබුද්ධ

ඉහත කී අමුණුම්

(ඇමුණුම “අ” )

තොරතුරු ලබාගැනීමේ අයැදුම් පත්‍රය

1 තොරතුරු නිලධාරියා,

2 ඉල්ලීම කරන්නාගේ නම :…………………………………………….
3ලිපිනය :……………………………………..
4 සම්බන්ධ කරගත හැකි අංකය ( ඇත්නම්) :…………………………………..
5 විද්‍යුත් තැපෑල (ඇත්නම්) :……………………………………
6 ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර –
7 විශේෂ රාජ්‍ය අධිකාරිය:…………………………………….
8 ඉල්ලා සිටින තොරතුරු……………………………………..9 තොරතුරු ඉල්ලා සිටින නිශ්චිත කාලසීමාව (අදාළ වේනම්) :…………………
10 තොරතුරු ඉල්ලා සිටින ආකාරය
(නිශ්චිත වැඩ අධීක්ෂණය කිරීම, ලියකියවිලි, වාර්තා
කරුණු සටහන් කරගැනීම, උපුටාගැනීම් හෝ ලියකියවිලිවල හෝ වාර්තාවන්හි පිටපත් ලබාගැනීම
කරුණුවල සහතික කරන ලද නියැදි ලබාගැනීම
CD / DVD / ගබඩා මාධ්‍ය / පට / විඩියෝ කැසට් පට / වෙනත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයක / යනාදී වශයෙන් තොරතුරු ගබඩා කර තිබෙන පරිගණකයකින් හෝ වෙනත් උපාංගයකින් මුද්‍රිත පිටපත් ලබාගැනීම
තොරතුරු ඉල්ලා සිටින්නා ඒ වෙත ප්‍රවේශවීම සඳහා කැමති)
11 භාෂාව :…………………………………..
12 ඉල්ලා සිටින තොරතුරු පුරවැසියෙකුගේ ජීවිතය හෝ නිදහසට බලපාන්නේද ? (ඔව් / නෑ)
පිළිතුර ඔව් නම්, එකී විශ්වාසයට බලපාන්නාවූ හේතු……………………………………………
13 වෙනත් තොරතුරු
අමුණා ඇති නිසි ලියකියවිලි ( ඇත්නම්)
I ………………………………………….
II …………………………………………..
III ……………………………………………
14 තොරතුරු ඉල්ලා සිටින්නා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද ? ( ඔව් / නෑ)

දිනය :…………………………….

අත්සන :……………………………

( ඇමුණුම “ආ” )

අභියාචනා පත්‍රය

නියම කර සිටින නිලධාරියා වෙත සිදුකරන ආයාචනය

නියම කර සිටින නිලධාරියා,

…………………………………………………

රාජ්‍ය අධිකාරිය:……………………………

1 අභියාචනය ඉදිරිපත් කරන පුද්ගලයාගේ නම :…………………………
2 ලිපිනය :…………………………………..
3 දුරකතන අංකය ( ඇත්නම්):……………………………………
4 විද්‍යුත් තැපෑල ( ඇත්නම්):……………………………………
5 තොරතුරු නිලධාරියා වෙත ඉල්ලුම් කළ දිනය සහ ලියාපදිංචි අංකය :
6 තොරතුරු නිලධාරියාගෙන් පිළිතුරක් ලැබුනේද? ඔව් / නෑ :……………………..
( පිළිතුර ඔව් නම්, ඔබ සතුව පිටපතක් ඇත්නම් කරුණාකර අමුණන්න; නැතිනම් පිළිතුරට අදාළ කරුණු ඉදිරිපත් කරන්න.)
7 අභියාචනාව සඳහා පදනම :
තොරතුරු :……………………………………
8 ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ සාරාංශයක් :…………………………………
9 නිශ්චිත කාලසීමාව තුළ අභියාචනය ඉදිරිපත් කර නොමැතිනම්, ප්‍රමාදයට හේතුව
[31(5)වගන්තිය ප්‍රකාර]:
10 වෙනත් කරුණු : …………………..
දිනය :………………………………………

අත්සන :

ගාස්තු :

( ඇමුණුම “ඇ”) ගාස්තු

* ඡායා පිටපත් ලබාගැනීම:
රුපියල් 2/- ක ගාස්තුවක් (එක් පැත්තක් වෙනුවෙන්) සහ රුපියල් 4/- ක ගාස්තුවක් (දෙපැත්ත වෙනුවෙන්) A4 ( 21 cm x 29.7 cm ) එක් කොළයක සහ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කොළයක සපයන ලද තොරතුරු වෙනුවෙන්
නීත්‍යානුකූල යැයි පිළිගත් කඩදාසියක ( 21.59 cm x 35.56 cm ) සිට A3 කඩදාසියක් (29.7 cm x 42 cm) මත සපයනු ලබන තොරතුරු වෙනුවෙන් රුපියල් 4/- (එක් පැත්තක් වෙනුවෙන්) සහ රුපියල් 8/ – ක ගාස්තුවක් (දෙපැත්ත වෙනුවෙන්) අයකරනු ලබයි.
ඉහත සඳහන් කළ කඩදාසිවලට වඩා විශාල පත්‍රිකාවක තොරතුරු සැපයීම වෙනුවෙන් සත්‍ය වශයෙන්ම අයවිය යුතු මුදල අය කෙරෙනු ඇත.

මුද්‍රිත පිටපත් සඳහා අදාල ගාස්තූන් පහත පරිදි වේ.
රුපියල් 4/- ක ගාස්තුවක් (එක් පැත්තක් වෙනුවෙන්) සහ රුපියල් 8/ – ක ගාස්තුවක් (දෙපැත්ත වෙනුවෙන්) එක A4 ( 21 cm x 29.7 cm ) කඩදාසියක සපයනු ලබන තොරතුරු වෙනුවෙන් සහ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසි වෙනුවෙන් අය කරනු ලබයි.
නීත්‍යානුකූල යැයි පිළිගත් කඩදාසියක ( 21.59 cm x 35.56 cm ) සිට A3 කඩදාසියක් (29.7 cm x 42 cm) මත සපයනු ලබන තොරතුරු වෙනුවෙන් රුපියල් 5/- ක ගාස්තුවක්ද (එක පැත්තක් සඳහා) රුපියල් 10/- ක ගාස්තුවක් (දෙපැත්ත වෙනුවෙන්) අය කරනු ලබයි.
ඉහත සඳහන් කළ කඩදාසිවලට වඩා විශාල පත්‍රිකාවක තොරතුරු සැපයීම වෙනුවෙන් සත්‍ය වශයෙන්ම අයවිය යුතු මුදල අය කෙරෙනු ඇත.

* කුඩා තැටියකට, සංයුක්ත තැටියකට, USB mass drive හෝ මේ හා සමාන ඉලෙක්ට්‍රොනික උපාංගයකට පුරවැසියාගේ ඉල්ලීම මත තොරතුරු පිටපත් කිරීම සඳහා රුපියල් 20/- ක මුදලක්ද අය කරනු ලබයි.
රාජ්‍ය අධිකාරිය විසින් සපයනු ලබන කුඩා තැටියකට, සංයුක්ත තැටියකට, USB mass drive හෝ මේ හා සමාන ඉලෙක්ට්‍රොනික උපාංගයකට අය කරනු ලබන්නේ සැබෑම ගාස්තුවය.

* කිසියම් ලේඛනයක් හෝ කරුණක් අධ්‍යනය කිරීමට හෝ අධීක්ෂණය කිරීම හෝ ඉදිකිරීම් ප්‍රදේශයක් අධීක්ෂණය කිරීම සඳහා පැයක කාලයක් සඳහා රුපියල් 50/ – ක මුදලක්ද, ඉහත කර්තව්‍ය සඳහා පැයකට අධික කාලයක් ගතවන්නේ නම් අධ්‍යනය කිරීමට හෝ අධීක්ෂණය කිරීම සඳහා ගත කළ පළමු පැය සඳහා ගාස්තුවක් අය නොකරනු ලබයි. මීට පෙර මෙවන් අධීක්ෂණයන් නොමිලේ සිදුකළ සහ මෙකී උපනීතිය පවතිද්දී එය අඛණ්ඩව ක්‍රියාත්මක වන රාජ්‍ය අධිකාරීන් සඳහා පූර්ව නිගමනයකින් තොරව මෙය බලපානු ලබයි.

* නියැදි සහ ආකෘති සඳහා සැබෑ ගාස්තුව අය කරනු ලබයි.
විද්‍යුත් තැපෑල මඟින් ලබාදෙන තොරතුරු සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරයි.
ඔබ ලද දැනුම තවකෙකුටත් ලබාදෙනු වස් share කරන්න..

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම