තොරතුරු දැන ගැනීම පුරවැසියා ස…

, , Leave a comment

තොරතුරු දැන ගැනීම පුරවැසියා සතු අයිතිවාසිකමකි.නමුත් පුරවැසියා සතුව ඒ අයිතිය පිළිබඳ දැනුම්වත්භාවය අල්පය.
අපේ රටේ පුරවැසියනට එකී අයිතිවාසිකම් ලබාදීමට අදාල නෛතික තත්වය විස්තීර්ණ කර ඇත්තේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේය.
මේ නීතිමය තත්වය ගැන ලිපි දෙකක් විදිහට ලියැවෙන්නේ පුළුල් මාතෘකාවක් නිසාවෙන්.
එහි පළමු සටහන නීතිය ගැන නම් නොවේ.නීතිමය ප්‍රතිපාදන විෂයෙහි අදාල සිද්ධිමය සහ පැවතිය යුතු කාරණා ගැනයි.
ඒ වගේම මේ හා සබැඳි ඉතිහාසමය කාරණා ගැනත් සංශිපතයක් ඇතුලත් කලේ, දැනුමට වැදගත් නිසාවෙන්.

* තොරතුරු දැන ගැනීමේ සංකල්පය

මානව දේශපාලනය ගෝත්‍රික යුගයේ සිට පරිණාමය වෙමින් පැමිණීමේ ප්‍රතිඵලයක් විලසින් ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. එය ජනතා පරමාධිපත්‍යය කියලත් හදුන්වනවා.
රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.
තොරතුරු දැනගැනීමට පුරවැසියා සතු මෙම අයිතිය මැනවින් ආරක්ෂා වනු වස් මුලික අවශ්‍යතා 3ක් පිළිබඳව මෙහිදී සැලකිලිමත් වනවා, එනම්

1.තොරතුරු සඳහා ඇති ප්‍රවේශය:

ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. තොරතුරු සුලභ බව මෙන්ම තොරතුරු ලබා ගැනීමේ මාධ්‍යයන් බාධාවකින් තොරව සමාජය තුල ක්‍රියාත්මකවන බව මින් අදහස් වේ.
විශේෂයෙන්ම ජන මාධ්‍ය වාරණයකින් හෝ බාධාවකින් තොරව හා නිදහස්ව හා බලපෑමෙන් තොරව හැසිරීම මෙහිදී වඩාත්ම වැදගත් වේ.

2.තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා රාජ්‍යමය ආයතනවලට ඇති වගකීම

ජනතාවට වැදගත් වන සියළු තොරතුරු ජනතාවට ලබා ගත හැකි පහසු මාධ්‍යයන්ගෙන් ජනතාවට ලබා දීමට රාජ්‍ය ආයතන වලට වගකීමක් තිබිය යුතුය. ජනතාවට බහුලව ලබා ගත හැකි මාධ්‍යයන්ගෙන් මෙන්ම ජනතාවට තේරුම් යන ලෙස සරල ලෙස එම තොරතුරු ලබා දීම රජයේ වගකීමකි.

3.තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම

යම් යම් පුද්ගලයන්ට අදාල වන තොරතුරු ඉල්ලා සිටිවිට එම තොරතුරු ලබා දීමට ඇති බැඳීම මෙයින් අදහස් වේ. රාජ්‍ය රහස් වැනි සීමාවන්ට යටත්ව තොරතුරු රාජ්‍ය ආයතන වලින් ඉල්ලා සිටීමේ අයිතියක් ජනතාවට තිබිය යුතුය. ජනතාවට අදාල වන පෞද්ගලික තොරතුරු හා ජනතාවගේ බදු මුදල් වලින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ජනතාවට ලබාදීමේ වගකීමක් රාජ්‍ය නිළධාරීන්ට ඇත. මෙම තොරතුරු ප්‍රමාදයකින් තොරව හා නිවැරදිව ජනතාවගේ අයිතියකි.

පුරවැසියා සතුව අයිතිවාසිකම් තිබුනාට, ඒවා දිනා ගන්නට කලියෙන් දැනගත යුතුම දේ නම් මොනවාද? මේ “තොරතුරු” කියලා කියන්නේ යන්න.

* “තොරතුරු” (information) යනු මොනවාද?

“තොරතුරු” යන්න සරලව කියනවානම් ‘ සකස් කළ දත්ත’ ලෙස අර්ථ දැක්විය හැකිය. තව දුරටත් විග්‍රහ කරගන්නවා නම් තොරතුරු යනු ‘ලබන්නාට කිසියම් අර්ථයක් දෙන පරිදි ක්‍රමානුකූලව සකස් කරන ලද දත්ත’ වේ.
තවත් විශේෂත්වයක් නම් තොරතුරු භාවිත කරමින් තීරණ ගැනීමට හෝ නිගමන වලට එලඹීමට හැකිවේ. එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු සඳහාත්, දැනුම දියුණු කර ගැනීම සඳහාත්, අනාවැකි පල කිරීම සඳහාත් ආදී වූ විවිධ කටයුතු සඳහා තොරතුරු අපට උපකාරී වනවා.

මෙකී දත්ත ක්‍රමවත්ව සකසා තොරතුරු බවට පත් කිරීමට තාක්ෂණය මහෝපකාරී වේ.
පරිගණකයට දත්ත ඇතුලත් කිරීම නොඑසේනම් ආදානය (input) කරනු ලැබු විට එසේ ආදානය කළ දත්ත එහි මතකයේ ගබඩා කළ ක්‍රමලේඛයක් යටතේ සකසා අර්ථවත් තොරතුරු බවට පත් කෙරේ. මෙය දත්ත සැකසීම (data processing) නම් වේ. අවසානයේදී පරිගණකයට ආදානය කළ දත්ත සැකසීමෙන් පසු තොරතුරු ලෙස ප්‍රතිදානය(output) කරයි.

පුරවැසියාට අවශ්‍ය තොරතුරු වල අදාලත්වය පුද්ගලානුබද්ධය.
උදාඃ
සංඛ්‍යාවක වර්ගමූලය දශමස්ථාන හතරකට සෙවීම සාමාන්‍ය පුද්ගලයෙකුට අනවශ්‍ය වුවත් එය විද්‍යා ඥයෙකුට වැදගත් වේ.

ඒ වගේම තොරතුරු සෑම විටම,
1. අදාල කාර්යය සඳහා උචිත විය යුතුය.
2. අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් විය යුතුය.
3. අදාල කාර්යය සඳහා නිවැරදි විය යුතුය.
4. භාවිත කරන්නාට පැහැදිලිව තේරුම් ගත හැකි විය යුතුය
5. භාවිත කරන්නාට විශ්වාස කළ හැකි විය යුතුය.
6. නිවැරදි පුද්ගලයා වෙතට ළඟා විය යුතුය.
7. නියමිත වේලාව වන විට සකස් වී තිබිය යුතුය.

අවශ්‍යතාවය සහ පුද්ගලයා අනුව තොරතුරු වල වටිනාකම වෙනස් වෙන්න හැකියාවක් තියෙනවා.එකී වටිනාකම තීරණය වීමෙහි ලා,

* තොරතුරු වල වටිනාකම එහි අදාලත්වය මත රදා පවතී.
* තොරතුරු නිර්මාණය කරන මොහොතේම හෝ ඒවා ලැබෙන මොහොතේම එයට වැඩි වටිනාකමක් ඇත.
* කාලය ශුන්‍යයට ආසන්න වන අවස්ථාවේදී තොරතුරු වල වටිනාකම උපරිම වේ.
* කාලය ගත වීමත් සමඟ තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩු වේ.
මේ නිසාවෙන් පුරවැසියා තොරතුරු තමන්ට කොතරම් වැදගත් වනවාදැයි තහවුරුවකට පැමිණීම වැදගත්.
තොරතුරක ගතිලක්ෂණ
හා ගුණාත්මක බව සඳහා බලපාන සාධක යටතේ තවදුරටත් බලන කල්හි,
+ අදාලත්වය (Relevance)
+ සම්පූර්ණත්වය (Completeness)
+ නිවැරදිතාවය (Accuracy)
+ කාලානුරූපී වීම (Timeliness)
+ පිරිවැයට වටිනාකම් තිබීම (Economy)
+ තේරුම්ගත හැකි වීම/ පැහැදිලි බව (Understandability)
+ විශ්වාසනීයත්වය (Reliability)
+ පරිශීලකයාගේ අවශ්‍යතා සපුරාලීම (Meet the user needs)

තොරතුරක් සඳහා උපරිම වටිනාකම ලැබෙනුයේ එම තොරතුර ලබා ගන්නා මොහොතේ ය.

තොරතුරු පිලිබඳ ස්වර්ණමය න්‍යාය විලසින්ද මෙය හැදින්වෙනවා.

කාලයත් සමග තොරතුරු වල වටිනාකම ක්‍රමයෙන් අඩු වී ගොස් අවසානයේ ඒවා දත්ත බවට පත් වේ.

තොරතුරක් කියන්නේ කවර තත්වයක් දැයි ලද අවබෝධයත් එක්ක මීලඟට සලකා බැලිය යුතුම කාරණය “දත්ත” (data) කියන්නේ මොනවාද? යන්නයි,

* “දත්ත” යනු කුමක්ද?

දත්ත යනු කළමනාකාරුවන්ට තීන්දු හෝ නිගමන ලබා ගැනීමට භාවිතා කළ නොහැකි නමුත් ප්‍රමාණාත්මකව හෝ ගුණාත්මක වශයෙන් ප්‍රකාශ කළ හැකි දෑ දත්ත ලෙස අර්ථ දැක්විය හැක. දත්ත ගැන නිර්වචන බොහෝමයක් තිබෙනවා. ඉන් කිහිපයක් සලකා බලමු.

+ තොරතුරු සකස් කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය දත්ත ලෙස හැදින්වේ.
+ අර්ථාන්විත බවකින් තොර වූ දෑ දත්ත ලෙස හැදින්වේ.
+ නිගමනයන්ට යොමු වීමට නොහැකි දෑ දත්ත ලෙස හැදින්වේ.
+ කිසිදු ආකාරයකින් සකස් කිරීමකට භාජනය නොකළ සංඛ්‍යථ රූප, අකුරු, චිත්‍ර, මිනුම්, දත්ත ලෙස හැදින්වේ.
+ කළමනාකරුවන්ට තීන්දු තීරණ ගැනීමට නොහැකි ආකාරයෙන් පවතින දෑ දත්ත ලෙස හැදින්වේ.
තොරතුරක් තුල ඇති බොහෝ දේවල් දත්ත ලෙසින් සැලකෙන බව ඔබට පෙනී යන්නට ඇති.

මෙකී දත්ත තියෙන්නේ කවර ස්වරූපයකින් දැයි දැනසිටීම වැදගත්,ඒ අනුව දත්තවල ස්වාභාවය,

+ රැස්කර (ගබඩා කර) තබා ගැනීමට හැකිය.
+ සැකසීමේ හැකියාව ඇත.
+ එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් වෙත සම්ප්‍රේෂණය කළ හැක.
ලෙස හදුන්වන්න හැකියි.

මෙලෙස විවිධ ස්වභාවයෙන් පවත්නා දත්ත පහත පරිදි වර්ගීකරණය කෙරෙනවා.
ඒ අනුව දත්ත ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ කතා කරනවා.

+ ප්‍රමාණාත්මක දත්ත
(Quantitative Data)
+ ගුණාත්මක දත්ත
(Qualitative Data)

මේ කොටස් දෙක කුමක්දයි විමසීමේදී,

+ ප්‍රමාණාත්මක දත්ත
(Quantitative Data)
සංඛ්‍යතාමකව ඉදිරිපත් කළ හැකි ආකාරයේ දත්ත මෙම වර්ගයට අයත් වේ.
මෙකී ප්‍රමාණාත්මක දත්ත වලට පැවතිය යුතු ලක්ෂණ පහත විමසනවා නම්,

+ අනුපිළීවෙලකට සැකසිය හැක.
+ ගණිත කර්ම වලට භාජනය කළ හැක. (එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම)
සංඛ්‍යා විද්‍යාත්මකව සැකසීමට හා නිරූපණය කිරීමට හැක.
අනෙක් දත්ත වර්ගය නම්,

+ ගුණාත්මක දත්ත
(Qualitative Data)
සංඛ්‍යත්මකව ඉදිරිපත් කළ නොහැකි ආකාරයේ දත්ත මෙම වර්ගයට අයත් වේ. මෙම වර්ගයේ දත්ත වලට උදාහරණ ලෙස යම් ද්‍රව්‍යයක හැඩය, වර්ණය වැනි ගුණාත්මක දෑ ගන්න පුළුවන්.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික සංකල්පය ප්‍රකාර වැඩිදුරටත් සලකා බලන කල්හි

+ මහා දත්ත (Big Data)
සාමාන්‍යයෙන් අප භාවිතා කරන දත්ත සැකසීමෙ මෘදුකාංගවලින් සැකසීමට ලක් කල නොහැකි සංකීර්ණ, විශාල ප්‍රමාණයෙන් එක් රැස් වන දත්ත මහා දත්ත වේ.

මෙකී මහා දත්ත සැකසීමේදී මුහුණදීමට සිදු වන ගැටළු,

+ දත්ත ග්‍රහණය කර ගැනිම.
+ විශ්ලේෂණය
+ දත්ත ගබඩා කිරීම.
+ සෙවීම
+ බෙදා ගැනීම
+ ප්‍රදර්ශනය කිරීම.
+ පෞද්ගලිකත්වය සුරැකීම.

පුරවැසියනට සිය දෛනික ජීවිතයේදී තොරතුරු අදාල වන්නේ,
තීරණ ගැනිම,අනාගතය පුරෝකථනය, ප්‍රතිපත්ති සකස් කිරීම,සැලසුම් කිරිම හා අධීක්ෂණය කර ගැනීම වගේ වැඩ වලට,

තොරතුරු නිර්මාණය කිරිමේදී අපට සහය වන්නේ,

+ පද්ධතිය (system)

යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව ක්‍රියා කරන අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුත් සංරචක සමූහයකි.

+ තොරතුරු පද්ධති (Information system)–

ආදානය ලෙස දත්ත ලබාගෙන ඒවා සැකසිම මඟින් තොරතුරු ප්‍රතිදානය කරන පද්ධතියක් තොරතුරු පද්ධතියක් ලෙස හදුන්වන්වා.

අත්යුරු ක්‍රමවේදය ඔස්සේ තොරතුරු සැකසිමේදී ගැටළු කිහිපයකට මුහුණදිය යුතුයි. එනම්,

+ දත්ත අසංගත වීම.
+ දත්ත අනුපිටපත් වීම.
+ මිනිසා අතින් සිදු වන වැරදීම්
+ වැඩි කාලයක් ගතවීම.
+මිනිස් ජීවිත සඳහා අවදානම් සහිත අවස්ථාවලදී අත්යුරු ක්‍රමය භාවිත කල නොහැකිවීම.
+ පරිගණක පාදක තොරතුරු සැකසීම.
අත්යුරු ක්‍රමයේ අඩුපාඩු මඟහරවා ගනිමින්, තොරතුරු හා සන්නිවේදනයේ දියුණුවත් සමඟ පරිගණක පාදක තොරතුරු පද්ධති නිර්මාණය වීම වැඩි වෙනවා. එයින් අද්‍යතන යුගයට ලැබී ඇති ප්‍රයෝජන ලෙසින්,

+ හදිසි විකාශන සංඥා
+ අනතුරු ඇඟවීමේ පද්ධති
+ අහිතකර විකිරණ සහිත පරිසරවල, අව්‍යවකාශයේ පරීක්ෂණ කටයුතු කිරීම
ආදිය දැකිය හැකියි

මේ යටතේ පවත්නා සුවිසල් දත්ත පද්ධතිය ලෙස හැඳින්විය හැක්කේ අපි කවුරුත් දන්න කියන “අන්තර්ජාලය” (internet) යි.
අන්තර්ජාලය යනු ලොව පුරා පිහිටි පරිගණක ජාලවල එකතුවකි. මෙහි පදනම ලෙස ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් නිර්මාණය කළ ARPANET නම් ජාලය හැඳින් වේ. 1990 නිර්මාණය වූ ලෝක ව්‍යාප්ත ජාලයත් සමඟ සාමාන්‍ය ජනතාවට ද අන්තර්ජාලය භාවිත කිරීමට හැකියාව ලැබිනි.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනා ගන්න පළමුව දැනුම්වත් විය යුතු කරුණු සහ ඒ උදෙසා පාදක වන මූලික කරුණු පිළිබඳ තබනා මෙම සටහන මෙතැනින් අවසන් කරන්නම්,
තොරතුරු දැන ගන්න නේක විඳි තිබියදී, ඇත්තටම අපි ඒ ගැන කොතෙක් දැනුම්වත්ද?
2006 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ගැන සහ ඒ යටතේ පුරවැසියා කටයුතු කල යුතු ආකාරය මීලඟ ලිපියෙන් කතා කරමු.

සටහන – ප්‍රබුද්ධ

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම