“නීතිය නොදැන සිටීම නිදහසට කරුණ…

, , Leave a comment

“නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ”
අපේ අයිතිවාසිකම් රැක ගන්නටත්…දිනාගන්නටත්…අපි පළමුව ඒ සබැඳිව පවත්නා නීතිය දැන සිටීම අතිශයින්ම වැදගත්.
අද සටහන එවන් නීතිමය ප්‍රතිපාදනයක් ගැනයි

මහජන අර්ථසිද්ධි නඩුකර
Public Interest Litigation

සාමාන්‍යයෙන් පුද්ගලයකු විසින් අධිකරණමය ක්‍රියාවලියක් සදහා යොමුවනුයේ තමාට සිදුවූ යම් අසාධාරණයක් හෝ අයුක්තියක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටය. නොඑසේ නම් තමන් මුහුණපාන නීතිමය ගැටලුවක් නිරාකරණය කරගැනීමටය.
එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී කෙරෙනුයේ තමාගේ යහපත වෙනුවෙන් නඩු පැවරීමක් නොව සමාජයේ පොදුමහත් ජනතාවගේම යහපත උදෙසා යම් පුද්ගලයකු හෝ ආයතනයක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීමය.

* මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි ඉතිහාසය

මහජන අර්ථසිද්ධි නඩුකර පිළිබද සිද්ධාන්තය මුල්වරට එළිදැක්වුනේ 1960 දශකයේ මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේදීය.
ඉන් පසු එම සංකල්පය 1970 දශකයේදී එංගලන්තයට හා ඉන්දියාවටද සංක්‍රමණය විය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අපගේ අසල්වැසි ඉන්දියාව ” මහජන අර්ථසිද්ධි නඩුකර ” යන විෂයෙහි වර්ධනය සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටුකොට ඇති බවය. හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ ක්‍රිෂ්ණ අයියර් විනිසුරුතුමා සහ පී.එන්.භගවතී අගවිනිසුරුතුමන් විසින් මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි අන්තර්ජාතිකව වැදගත් වන නඩු තීන්දු රාශියක්ම ප්‍රකාශයට පත්කොට ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණයන්ද මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි ඉන්දීය නීති පද්ධතිය තුළ ඇතිවූ වර්ධනයන් සැලකිල්ලට ගෙන අප නීති පද්ධතියෙහි නිම් වලලු පුළුල් කොට ඇත. මේ නිසා මහජන අර්ථසිද්ධි නඩුකර යන්න පාර්ලිමේන්තු පනතක් මගින් පනවන ලද නීතියක් නොව අධිකරණමය ක්‍රියාදාමය තුළ වර්ධනය වූ ප්‍රවනතාවයක් ලෙස හැදින්විය හැකිය.

* මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැක්කේ කාටද?

නෛතික ස්ථතිය හෙවත් Locus Standi යන නෛතික සංකල්පය අනුව යම් පුද්ගලයකු නඩුවක් පැවරිය හැක්කේ පුද්ගලිකවම තමා සම්බන්ධයෙනි. උදාහරණයක් ලෙස මූලික අයිතිවාසිකම් කඩවූ පුද්ගලයාට හෝ ඔහුගේ නීතිඥයාට පමණි. එම පුද්ගලයා සම්බන්ධකර නොගෙන ඔහුගේ ඥාතීන්ට හෝ ඔහු වෙනුවෙන් වෙනත් සංවිධානයකට මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනුකළ නොහැක. එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී පුද්ගලයකුට හෝ සංවිධානයකට තමන් ඍජුවම සම්බන්ධ නොවන කාරණයක් සම්බන්ධයෙන් වුවද නඩු පැවරීමට හැකියාවක් ඇත. කෙටියෙන් පවසතොත් පොදු මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා අව්‍යාජව සැලකිලිමත්වන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට මහජන අර්ථසිද්ධි නඩුකරයක් ගොනුකළ හැක.

* මහජන අර්ථසිද්ධි නඩුකර වලට අදාල විවිධ රටවල ප්‍රසිද්ධ නඩු

01. Mc Mehtha vs Union of India (Tanerries Case)

02. Mc Mehtha vs Union of India (Sriram Gasleak case)

03. Juan Anthonia Oposa vs Fulgensio Factoran

04. Smithcline Beecham vs State Phamaceutical co-operation

05. Bulankulama v Ministry of Industrial Development (884/99) – Sri Lanka

ඉතිහාසය,ලෝක තත්වයන් දැනගැනීමෙන් පසුව අපි මේ සම්බන්ධ ලාංකේය නෛතික තත්වය ගැන කතා කරමු.

*ශ්‍රී ලංකාවේ මහජන අර්ථසිද්ධි නඩුකර

ශ්‍රී ලංකාවේ මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැකි ප්‍රධාන විෂයයන්

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැකි අවස්ථා රාශියක් ඇති අතර ඒ අතරින් ප්‍රධාන විෂයයන් කීපයක් පමණක් පහත දැක්වේ.

*පරිසර දූෂණය

ශ්‍රී ලංකාව තුළ මහජන අර්ථසිද්ධි නඩුකර බහුල වශයෙන් උපයෝගී කර ගන්නා ක්ෂේත්‍රය මෙය වේ. 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත හා වෙනත් රෙගුලාසි මගින් පරිසර සංරක්ෂණය උදෙසා අතිශයින් වැදගත් නියමයන් රාශියක් හදුන්වා දී ඇත. එසේම මෙම පනත යටතේ පරිසරය පිළිබදව කටයුතු උදෙසා මධ්‍යම පරිසර අධිකාරිය (CEA) නම් සුවිශේෂී ආයතනයක්ද පිහිටුවා ඇත. එහෙත් එහි නියමයන්ද උල්ලංඝණය කරමින් පරිසර දූෂණය කරන්නවුන් මෙල්ලකිරීම උදෙසා වර්තමානයේදී ප්‍රබලතම අවියක් ලෙස පිලිගැනෙනුයේ මහජන අර්ථසිද්ධි නඩුකරයි.

* පාරිභෝගික ආරක්‍ෂාව

පාරිභෝගිකයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකික නීති පද්ධතිය යටතේ ප්‍රතිපාදන රැසක් ඇත. 2003 අංක 09 දරණ පාර්ලිමේන්තු පනත මගින් මේ සදහාම “පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය” නම් ආයතනයක්ද පිහිටුවා ඇත. එහෙත් මේ සියලු වැටකඩොලු බිදහෙලමින් පාරිභෝගිකයා අපහසුතාවයට පත්කරන නිෂ්පාදකයින්,වෙළදුන් හෝ වවිධ සේවා සපයන්නන්ට එරෙහිව පොදු ජනතාවට ඇති හොදම අවිය මහජන අර්ථසිද්ධි නඩුකරයි.

* සමාජයේ දුබල කොටස්වල මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරනු ලැබීම

දිළිඳු,ආබාධිත,අවතැන්වූ හෝ වෙනත් යම් හේතුවක් මත අසරණ වූ ජන කොට්ඨාසයන්ට තමන්ගේ මානව අයිතිවාසිකම් ලබාගැනීම උදෙසා මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි පිහිට හැක. මෙහිදී එවන් පසුගාමී පිරිස් වෙනුවෙන් වෙනත් පුද්ගලයින්ට හෝ ආයතනයන්ටද ඉදිරිපත් විය හැක.

* මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ ලබාගතහැකි අධිකරණමය ප්‍රතිකර්ම

1.මූලික අයිතිවාසිකම් නඩුකර

මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියම අධිකරණමය ප්‍රතිකර්ම මෙයවේ. විධායකයේ හෝ පරිපාලනමය ක්‍රියාවකින් පොදු මහජනතාවම පීඩාවට පත්වන අවස්ථාවකදී එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් පැවරීමට පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත.

2. රීට් (Writ) ආඥා ලබාගැනීම

පොදු මහජනතාවට බලපාන කාර්යයන් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් සර්ෂියෝරාරි (යම් නිලධාරියකු විසින් දෙනු ලබන නීති විරෝධී තීන්දුවක් අහෝසිකරන) හෝ මැන්ඩාමුස් ( යම් නිලධාරියකු ලවා යම් කීත්‍යනුකූල ක්‍රියාවක් කරවීමට බලකරන) ආඥාවක් ලබාගැනීමට පොදු ජන සුභසිද්ධිය සමිබන්ධයෙන් අවංකවම උනන්දුවන පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත.

3.මහජන පීඩා ඉවත්කිරීම

පොදු මහජනතාවට පීඩාවක් වන යම් කරුණක් සමිබන්ධයෙන් අදාල ප්‍රදේශයේ මහේත්‍රාත් අධිකරණය මඟින් එම පීඩාව ඉවත්කිරීමේ නියෝගයක් ලබාගැනීමට පුද්ගලයකුට හෝ සංවිධානයකට හැකියාවක් ඇත. වර්තමානයේදී පලාත් පාලන ආයතන විසින් නාගරික ප්‍රදේශයන්හි කුණු ඉවත්නොකිරීම සමිබන්ධයෙන් මහජනතාව බහුල වශයෙන් මෙම ප්‍රතිකර්මය යොදාගනී. මෙයට අමතරව පුද්ගලයින් නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම,නීති විරෝධීව රඳවා තබාගැනීම හෝ වධහිංසා පැමිණවීම පිළිබදව පුද්ගල නිදහස සමිබන්ධයෙන් උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කළ හැක. මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ඒ සමිබන්ධව පරීක්‍ෂණයක් පවත්වනු ඇත.

* මහජන අර්ථසිද්ධි නඩුකර

ලංකාවේ මේ සම්බන්ධ ප්‍රසිද්ධ නඩු කිහිපයක් සදහන් කරන්න හිතුවේ.මේ නඩුකර වලින් දිනාගන්න පුලුවන් අයිතිවාසිකම් මොනවාද? කියන් එකත්,
ඒ වෙනුවෙන් කරන්න ඕනෙ කුමක්දැයි වඩාත් පැහැදිලි කරගන්න පහසු වෙන්නටත් එක්ක.

එප්පාවල නඩු තීන්දුව
එප්පාවල ෆොස්පේට් නඩුකරය

අනුරාධපුර දිස්ත්‍රීක්කයට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි ෆොස්පේට් නිධියක් ඇමරිකානු සමාගමකට බදු දීම සඳහා ශ්‍රී ලාංකා ආණ්ඩුව විසින් පිඹුරුපත් සැකසීය. මේ කටයුත්ත හේතුවෙන් ප්‍රදේශයට සිදුවියහැකි පාරිසරික හානිය පාදකකොට ප්‍රදේශවාසීන් හත් දෙනෙකු විසින් යෝජිත බදු ගිවිසුම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන ලදී. ප්‍රදේශවාසී සියලු ජනතාව සහ පොදුවේ ශ්‍රී ලංකාවටම මෙම ගිවිසුම මඟින් සිදුවන පාරිසරික හානිය සලකා බැලූ අධිකරණය, ප්‍රදේශවාසීන් හත් දෙනාගේ පෙත්සම පිළිගනිමින් යෝජිත බදු ගිවිසුම මඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බව තීන්දු කරන ලදී. ඒ අනුව අදාල බදු ගිවිසුම අත්හැර දැමීමට රජයට සිදුවිය.

තබ්බෝව වනරක්‍ෂිතය සමිබන්ධ නඩුව

පුත්තලම දිස්ත්‍රීක්කයට අයත් වනරක්‍ෂිතය තුළ පිහිටි හාල්මඩුව ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් අක්කර 25ක ගොවිපළක් ආරම්භ කරන ලදී. මේ හේතුවෙන් දුර්ලභ වන ජීවීන්ට හා වෘක්‍ෂලතාවලට හානිවන බව ප්‍රකාශ කර පාරිසරික සංවිධානයක් විසින් රීට් ආඥාවක් ඉල්ලන ලදී. එවිට අභියාචනාධිකරණය ගොවිපළ පවත්වාගෙනයාම අත්හිටුවා තහනම් නියෝගයක් නිකුත්කරන ලදී.

ගාලුමුවදොරපිටිය බදුදීමේ නඩුව

නාගරික සංවර්ධන අධිකාරිය ගාලුමුවදොරපිටිය පෞද්ගලික සමාගමකට බදුදීමට කටයුතු සූදානම් කරන ලදී. පොදු මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා වන මෙය බදුදීමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණය මෙය පෞද්ගලික සමාගමකට පැවරීම නීති විරෝධී බව තීන්දු කරන ලදී. ඒ අනුව අදාල ගිවිසුම අවලංගු කරන ලදී.

මීරිගම අපි දන්න නඩුවකුත් සඳහන් කරලාම අවසන් කරන්නම්..

බාදුරාගොඩ වෝල්ස් (දැන් කාර්ගිල්ස්) ආයතනය හදපු මුල් කාලේ එහි අප ජලය,නරක්වූ සහ ඉතිරි කිරි එළියට ගලා ඒම ගැනත් මෙවැනිම නඩුවක් විභාග උනා.
ඒ ආයතනයට තමන්ගේ අප ජලය සහ කිරි ආයතනය තුලම පිරිපහදු කරන්න නියෝගයක් අධිකරණය ලබා දුන්නා..ඒ අනුව ඔවුන් මහා වියදමක් දරලා ඒ පිරිපහදු ක්‍රමවේදයක් හැදුවා.

තවත් මෙවැනිම නොදන්න නීතියක් එක්ක හමුවෙමු.
“ප්‍රබුද්ධ”

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම