අද නීති උපදෙස් හි කතා බහ පෙම්…

, , Leave a comment

අද නීති උපදෙස් හි කතා බහ පෙම් සුවයට හිතැති තරුණ තරුණියන් ගේ සිතට මහත්සේ වද දෙන මාතෘකාවක් වෙනුවෙන් වෙන් කරන්න සිතුනා.
නීති උපදෙස් වෙතින් ස්වකීය නෛතික ගැටළු වලට උපදෙස් අයදින අපිත් එක්ක ඉන්න තරුණ ගැටව් කිහිප දෙනෙක්ම මේ සම්බන්ධයෙන් විමසීම් කර තිබුනු අතර ඔවුන්ට පුද්ගලිකව නීතිමය තත්වය පැහැදිලි කලත්,
පොදුවේ මේ ගැන කතා කිරීම අද්‍යතන යුගයේ අවශ්‍යතාවයක් කියා සිතූ බැවින් මේ ලිපිය ඔබට ගෙන එන්න සිතුවා.
ඒ අන් කිසිවක් ගැන නොවේ…
බොහෝ තරුණ ජෝඩු වලට සිත්සේ පෙම් සුවය,පහස විඳින්නට ඇති අයිතිය අවහිර කරනා කාරණයක් ගැන…ඒ….

පෙම් සුවය විඳිනට හොටෙල් කාමරයක තනිවන පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය තිබෙනවා ද?
————————————————————-

පොලිස් නිලධාරින්ට යම් හෝටලයක් හෝ අමුත්තන්ගේ නිවාසයක නවාතැන් ගෙන සිටින පෙම්වතුන් යුවලක් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නීතිය තුළ නෛතික ප්‍රතිපාදන තිබේද? යන්න විමසා බැලීම ඉතාම කාලෝචිත වේ.
බොහෝවිට මෙලෙස අත් අඩංගුවට ගැනීමට හේතු වන්නේ ඔවුන් ලිංගිකව හැසිරීමයි.එහෙයින් පොලිසිය මගින් සිදු කරනු ලබන මෙවැනි අත් අඩංගුවට ගැනීම් නීත්‍යානුකූල ද?යන්න විමසා බැලීමට නම්,
ලංකාවේ නීතිය මගින් පුද්ගලිකව සහ රහසිගතව ලිංගිකව එකතු වීම යම් ආකාරයකින් තහනම් කොට ඇද්ද යන්න පළමුව සොයා බැලිය යුතුය.

එකී සොයා බැලීමේදී ලංකා නීතිය තුළ අන්‍යොන්‍ය කැමැත්ත මත සිදුවන ලිංගික සබඳතා අවස්ථා හතරකදී තහනම් කොට ඇති බව පෙනී යනවා.එනම්
1. ව්‍යභිචාරය
“ව්‍යභිචාරය”ලෙස හඳුන්වන්නේ ඥාතීන් අතර ඇතිවන ලිංගික සබඳතාය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 364(අ) වගන්තිය ප්‍රකාර නිශ්චිතව දක්වා ඇති ඥාති සම්බන්ධතා සහිත පුද්ගලයන් අතර ලිංගික ක්‍රියා තහනම් කඑ ඇති අතර එවැනි ක්‍රියාවකට අවුරුදු 07 සිට 20 දක්වා සිර දඬුවම් ලබා දීමේ හැකියාව ඇත.

2. ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණය
එනම් වයස අවුරුදු 16 ට අඩු දැරියක සමග ලිංගික සංසර්ගයේ යෙදීමයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනූව වයස 16 ට අඩු තැනැත්තියක් සමග ඇගේ කැමැත්ත ඇතිව වුවද ලිංගිකව එක් වුවහොත් ස්ත්‍රි දූෂණය නම් වරද සංස්ථාපනය වේ.
මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ කැමැත්ත තිබුනේද? නැද්ද යන්න නීතිය සලකා බැලීමක් නොකිරීමයි.
තම කැමැත්ත ඇතිව පෙම්වතා සමඟ මෛථුන්‍ය සේවනයේ යෙදුනු වයස 16 ට අඩු කෙලි පොඩිත්තියන් නිසා අමාරුවේ වැටුනු තරුණ ගැටව් බොහෝමයක් මේ නීතිය නිසා කූරු ගණිනවා.
අපේ දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථනිරූපණය ප්‍රකාර ස්ත්‍රී දූෂණයක් සංස්ථාපනය වීමට පුරුෂ ලිංගය ස්ත්‍රී ලිංගයට ප්‍රවේශ කිරීම ප්‍රමාණවත්.
එකී නීතිය අනුව අධිචෝදනා ලැබ වරදකාරිත්වයට පත් වන තැනැත්තකු විෂයෙහි අවුරුදු 10 සිට 20 දක්වා සිරදඩුවම් ලබා දීමට හැකි බවයි නීති පොතේ සඳහන් වන්නේ.

3. බරපතල ලිංගික අපයෝජනය මේ යටතේ ස්ත්‍රී දූෂණය සංයුක්ත නොවන වෙනත් ආකාරයේ ලිංගික තෘප්තිය ලබා ගැනීම උදෙසා සිදු කරන ඕනෑම ආකාරයේ ක්‍රියාවක් අදාල වනවා.
එහිදී නීතිය සලකා බලන මුඛ්‍ය කාරණය වන්නේ චූදිත විසින් වින්දිතයා වෙත සිදුකරන ලද ක්‍රියාව තුලින් චූදිත යම් ලිංගික තෘප්තියක් ලබා තිබෙනවා ද? යන්නයි.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) 1 අ අ වගන්තිය අනූව
යම් තැනැත්තියකගේ හෝ තැනැත්තෙකුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මෙම ක්‍රියාව සිදු කිරීම වරදක් බව දක්වා ඇත.මේ සදහා අවුරුදු 07 සිට 20 දක්වා සිරදඩුවම් ලබා දිය හැක.

4. තැනැත්තන් අතර දැඩි අශිෂ්ට ක්‍රියා
එකී නීතිමය ප්‍රතිපාදනය ප්‍රකාර සමලිංගික ක්‍රියාවල යෙදීම තහනම් බව දක්වා තියනවා.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය යටතේ මේ සම්බන්ධව ප්‍රතිපාදන දක්වා ඇති අතර මෙම වරද වයෝපූර්ණත්වයට පත් තැනැත්තන් හෝ තැනැත්තියන් දෙදෙනකු අතර සිදුව ඇති බවට වන චෝදනාවක් මහාධිකරණයක් ඉදිරියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වුවහොත් වසර 2 දක්වා සිරදඬුවම් ද,
වයස 18 ට වැඩි පුද්ගලයෙකු විසින් වයස 16 ට අඩු අයෙකුට මෙම අපරාධය සිදුව ඇති බවට ඔප්පු වූ අවස්ථාවක අවුරුදු 10 සිට 20 දක්වා සිරදඩුවම් ද ලබා දිය හැකි වේ.

ඒ අනුව උකත සිව් අවස්ථාවල දී පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇති අතර එකී අවස්ථා හතර යටතට නොගැනෙන, එනම් අන්‍යොන්‍ය කැමැත්ත මත වයෝපූර්ණත්වයට පත් යුවලක ලිංගිකව එකතු වීම, නොඑසේනම් මෛථුන්‍ය සේවනයේ යෙදීම අප රටේ අපරාධමය වරදක් සංස්ථාපනය නොකරන බව පෙනේ.
ඒ අනුව, ස්වකීය කැමැත්ත මත යහන්ගත වන වයෝපූර්ණත්වයට පත් හැහැණියක සහ පුරුෂයෙකු අත් අඩංගුවට ගැනීම විෂයෙහි කවරාකාරයක හෝ බලයක් පොලිස් නිලධාරින්ට නොමැත.
නමුත්, මෙහිදී එවැනි ක්‍රියාවලින් ඇති වන වෙනත් නෛතික තත්වයන් විමසා බැලීමද අත්‍යාවශ්‍ය කාරණයක්,

ඒ අනුව බලන කල්හි නීත්‍යානුකූල විවාහයකට එලඹි නොමැති, එනම් අඹු සැමියන් නොවන දෙදෙනකු යම් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම “අනාචාරය” ලෙස හඳුන්වන බව පෙනී යයි. බොහෝ දෙනෙකු මේ අනාචාරය කියන වචනය භාවිතා කලාට හරි අරුත නොදන්නා බවත් මෙහිදී කිව යුතුමයි.
ශ්‍රී ලංකා නීති සිවිල් පද්ධතිය තුළ නීත්‍යානුකූල විවාහයකින් ඉවත්ව යාම නොහොත් “දික්කසාදය” ලබා ගැනීම විෂයෙහි නඩු නිමිත්තක් උපචය වන්නාවූ කරුණක් ලෙස මේ “අනාචාරය” දක්වා ඇත.
දික්කසාද නඩුවක දී “අනාචරය” ලෙස සලකනු ලබන්නේ විවාහක කාන්තාවක හෝ පුරුෂයෙකු එකී විවාහක සහකරු හෝ සහකාරිය නොවන අන්‍ය පුරුෂයෙකු හෝ ස්ත්‍රියක සමඟින් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම යි.
මෙකී ක්‍රියාව තුල උද්ගත වන්නේ සිවිල් වගකීමක් මිස අපරාධමය වගකීමක් නොවන බව නීතියේ පිළිගැනීමයි.
කෙටියෙන්ම කිවතොත්, “අනාචාරය යනු අපරාධමය වරදක් එනම් සමස්ත සමාජයටම එරෙහිව කරනා වරදක් නොවේ.
නෛතික අර්ථ දැක්වීම එසේ වන හෙයින්,
අනාචාරයේ හැසිරීම කරණකොට ගෙන කිසිඳු පුද්ගලයකු අත් අඩංගුවට ගැනීම විෂයෙහි කිසිඳු ආකාරයක බලයක් පොලිස් නිලධාරින් වෙත නීත්‍යානුකූලව හිමිව නොමැති බව,
පොලිස් නිලදරුවන් සේම පුරවැසියන් සියළු දෙනාද දැන සිටීම අතිශ්‍යයින්ම වැදගත්.

මින් පරව සලකා බැලීම අතිශ්‍යයින්ම වැදගත් නීතිමය ප්‍රතිපාදනයක් වන්නේ,
යම් පුරුෂයෙකු ගණිකාවකගේ ලිංගික පහස ලැබීම ලාංකීය නීතිය ප්‍රකාර යම් වරදකාරිත්වයක් ආරෝපණය කල හැකි ක්‍රියාවකද? යන්නයි.
මේ සබැඳිව නීතිමය තත්වය විමසා බැලීමේදී පෙනී යන්නේ අප රටේ ගණිකා නිවාසයක්,
නො එසේනම් ලිංගික කාර්‍යය සඳහා මූල්‍යමය වටිනාකමක් අය කරමින් කාන්තාවන් හෝ පිරිමින් සැපයීම පිණිස යම් ස්ථානයක් හෝ පරිශ්‍රයක් පවත්වාගෙන යාම වරදක් වන බවයි.
නමුත්, ලිංගික කාර්‍ය උදෙසා ස්වකීය ශරීරය මුදලට අලෙවි කිරීම හෙවත් රැකියාව ලෙස ගණිකාවක ලෙසින් කටයුතු කිරීම නීතිය විසින් තහනම් කර නොමැති බව විනිශ්චිත නඩු තීන්දු ප්‍රකාර තහවුරු වූ කාරණයක්.
එකී නීතිමය පිළිගැනීම් අනුව ගණිකාවක සමඟින් ලිංගිකව එක්වීම වරදකාරිත්වයට පත් කල නොහැකි කාරණයක බැවින්, ගණිකා නිවාසයක් ලෙස නොසැලකෙන යම් තැනක ගණිකාවගේ ලිංගික පහස ලබන වයෝපූර්ණත්වයට පත් තැනැත්තකු අත්තඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් වෙත කිසිඳු බලයක් හෝ හැකියාවක් නොමැති බව පෙනී යයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිශ්චිත ඩැනී එදිරිව සිරිනිමල් සිල්වා, 2001(1) ශ්‍රී ලංකා නීති වාර්තා හි 29 වන පිටුවේ සඳහන්ව ඇති නඩු තීන්දුව තුල ලංකාවේ අපගේ මාතෘකාව සබැඳිව පවත්නා නීතිමය පසුබිම මනාව විමසුමට ලක් කර ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයේ විස්තීර්ණ මූලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කල මෙම නඩුවේ පෙත්සම විෂයෙහි අදාල වූ සිද්ධිමය කරුණු සැකවින් දැන සිටීම වැදගත් වේවි.
මෙහිදී, තානායමක නොඑසේනම් ආගන්තුකයින් වෙත නවාතැන් සපයන ලැඟුම් හලක (Guest House) රැය පහන් කල පුරුෂයෙකු හා කාන්තාවක පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුනු අතර
පොලිසිය විසින් මොවුන් දෙදෙනා ගණිකාවාස පනත (Brothels Ordinance ) යටතේ කරුණු දක්වමින්,
එකී පනත ප්‍රකාර විස්තීර්ණ වගන්ති යටතේ ගැනෙන වරද සිදුකල බැවින් ඒ යටතේ චෝදනා ගොනු කරන බවට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුනි.
එහිදී, අගතැන්පත් දෙපල වෙනුවෙන්, පොලිසිය සිදුකල මෙම ක්‍රියාව හේතුවෙන් තම මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට කරුණු දැක්වීමට කටයුතු කර තිබුනි.
එකී නඩුවේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගෙන හැර දැක්වූ සිද්ධිමය සහ නීතිමය කරුණු සලකා බැලීමෙන් පසුව ගරු අධිකරණය තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.
එහිදී ගණිකාවාස ආඥාපනත (Brothels Ordinance ) තුල කිසිඳු විටෙක ලිංගික සංසර්ගයේ යෙදීම නමැති ක්‍රියාව සිදුකල අයකුට එදිරිව වරදකාරිත්වයක් ආරෝපණය කල හැකි බව සඳහන් කර නොමැති බව ගරු විනිසුරුවරුන්ගේ විනිශ්චය විය.
එපමණක් නොව ගරු උපරිමාධිකරණය එහිදී වැඩිදුරටත් 1922 නව නීති වාර්තා හි 206 පිටුවේ වාර්තාගතව ඇත්තා වූ
කුරේ එරෙහිව ජේම්ස් අප්පු නමැති නඩු තීන්දුව උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නට යෙදුනේ,
ගණිකාවාස ආඥාපනත යටතේ නීත්‍යානුකූල විවාහයකට නොඑළඹුනු එනම් එකී විවාහයෙන් පිටත් සිදුවන ලිංගික සංසර්ගය (Illicit Intercourse ) ද වරදක් ලෙස නොසලකන බවයි.
ගරු අධිකරණයේ තීන්දුව එලෙස ප්‍රකාශයට පත් කරමින්, ගරු අධිකරණය වැඩිදුරටත් නියෝග කරන්නට යෙදුනේ.
පෙත්සම්කරුගේ විෂයෙහි පවත්නා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට පොලිස් නිලධාරින් විසින් සිදුකල ක්‍රියාකලාපය හේතුවී ඇති බැවයි.
එබැවින් පෙත්සම්කරුට රු 55,000 ක වන්දියක් ගෙවන ලෙසට වග උත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියම කර ඇති බව එකී නඩු තීන්දුවේ සඳහන්.

උක්ත සවිස්තරාත්මකව දක්වන ලද සියළු නෛතික ප්‍රතිපාදන සහ ආනුශංගික තත්වයන් සියල්ල එක්ව ගෙන බලන කල්හී ලාංකේය නීතිය තුල නීතියෙන් පිළිගන්නා විවාහ බන්ධනයකින් අඹු සැමියන් ලෙස පත්ව නොමැති වුවද වයෝපූර්ණත්වයට පත් එනම් වයස අවුරුදු දහ අට (18) ඉක්මවූ ස්ත්‍රියකට සහ පුරුෂයෙකු ට හෝටලයක්, ලැඟුම් හලක්, ආගන්තුක නිවාසයක් හෝ තානායමක් ලෙස නෛතික පිළිගැනීමක් සහිත ස්ථානයක හෝ පරිශ්‍රයක ලිංගිකව එකතු වීම, ලිංගික කාර්‍යයක යෙදීම, තැත් කිරීම සහ/හෝ එවන් කාර්‍යයක් සඳහා රැඳී සිටීම හේතුවෙන් අපරාධමය වරදක් සංස්ථාපනය නොවන බව සැලකිය යුතුය.
ඒ අනුව ලැගුම් හල වෙත ස්වකීය ජාතික හැඳුනුම්පත් පෙන්වා වයෝපූර්ණත්වයට පත් බව තහවුරු කර ලබා ගන්නා හෝටල් කාමරයක රැඳී සිටින කිසිවෙකු අත්තඩංගුවට ගැනීම සඳහා පොලිසිය වෙත බලයක් නොමැත.
අදාල හෝටල සෝදිසි කිරීම සඳහා නීත්‍යානුකූලව අවසර ඇතිව පොලිසිය ඇතුල් වන අවස්ථාවක පරීක්ෂා කිරීමට හැකියාවක් පැවතිය හැකි අතර පරීක්ෂා කිරීමේදී කාමරයේ රැඳි අය කිසිඳු නීත්‍යානුකූල නොවන ක්‍රියාවකට සම්බන්ධ නොවන බව තහවුරු වන්නේ නම්,
හුදෙක් කාමරයේ රැඳී සිටීම වරදක් ලෙස සලකා අත්තඩංගුවට ගැනීමට බලයක් පොලිසිය හිමි නොවන බව මෙහිදී අවධාරණය කෙරේ.
මේ නීතිමය තත්වය ඔබට වගේම තවත් අයකුටත් වැදගත් වේවි යැයි සිතන්නේ නම්, Share කරන්න.

~ ප්‍රබුද්ධ ~

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම