කවුරු හරි කියනවා නම් හමුදාවක ඉ…

, , Leave a comment

කවුරු හරි කියනවා නම් හමුදාවක ඉන්නේ 8 පාස් උදවිය විතරක්මැයි කියලා, ඒක ටිකක් කතා කලයුතු කතාවක්.
හමුදා තුනේ සෙසු නිලයන්ගෙන් සියයට 20 ක් 25 ක් විතර උපරිම ඇති ඕනෙ නම්, 8 වසර තෙක් ඉගෙනගත් අය, ඒ අය අතුරින් බොහෝමයක් දෙනා යුද්ධය කාලෙ බඳවා ගත් අය.ඔවුන්ගෙන් බොහෝමයක් අද විශ්‍රාම ගිහින්, අනෙක් අය දැන් වෙන කොට බලලත් නිලධාරීන් (Warrant Officers) හෝ ජ්‍යේෂ්ඨ අධිකාරිලත් නිලධාරීන් ( Senior Non Commissioned Officers) ලා.
ඔවුනගේ අත්දැකීම් සහ හැකියාවන් උපාධිය තියෙන අයෙකුටවත් නැති අපූර්ව ඒවා.යුධමය තත්වයකදී ඒ දැනුමට මහා මිලක් නියම කරන්න පුළුවන්.
අවාසනාවකට අපේ රටේ යුද්ධය ඉවර උනාට පස්සේ අපේ හමුදාවන් සතු ගරිල්ලන් සමග කරනා සටන්, යුධ උපක්‍රම, කුඩා කණ්ඩායම් ලෙස සටන් කිරීම, ආවේක්ශනය සහ තොරතුරු වලට ප්‍රවේශය, වගේ දේවල් වලදී අපේ හමුදාවට පමණක්ම ආවේණික වූ දැනුමෙන් හරි ප්‍රයෝජන ගත්තේ නෑ. යුධ උපදේශනය ලෝකයට දෙන වැඩසටහනක් හැදුනා නම්, UN Mission වලට යවලා ඩොලර් $ හොයන්න ඕනෙ නෑ. විදේශ හමුදා උපදෙස් පතාගෙන ඩොලර් $ අරන් අපේ රටට එන්නේ.පුහුණු කිරීම් සහ new conceptionl war courses ටිකක් අපේ SF,Commando, RSF,SABF, Navy Special Units, STF training centers වලම පටන් අරන්,
මානුෂික මෙහෙයුමක නිරත වීමේ සිට අවම අවි බලයක් එක්ක සටන් කිරීම දක්වා, අපේ යුද්ධයේදි අපි අත්දැකීම් ලබපු දේවල් දීලා ඩොලර් $ මහා ගොඩක් හොයන්න තිබුනා.
හමුදාවලට ආධුනිකයන් බඳවා ගැනීමෙදි ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් තීරණය කරන්නේ, ඔවුන් බඳවා ගන්නේ කවර රාජකාරිමය තත්වයක පිහිටුවාලාන්නට බලාගෙනද යන්න මත. ගොඩබිම් ආරක්ෂක රාජකාරි, ආයුධ සහිතව අනෙකුත් රාජකාරි සඳහා යොදවන, යුධ හමුදාවෙ නම්, පාබල රෙජිමේන්තු වලට,වගා සහ ඉදිකිරීම් වැඩබිම් වලට , ගුවන් හමුදාවෙ නම් රෙජිමේන්තුවේ සහ ඉදිකිරීම් වැඩබිම් ආදියට, නාවික හමුදාවෙත් අවිකරු සහ ඉදිකිරීම් වැඩබිම් වලට වගේ ඒවාට, අඩු අධ්‍යාපන මට්ටමක අයට ඇතුලත් වෙන්න පුළුවන්.
නමුත් යුධ කාලෙ වගේ නෙවේ 2009 න් පසු ගෙවී ගිය වසර 18 තුල ආපු අයත්, විශේෂයෙන් මෑත කාලීනව හමුදාවේ සේවයට පැමිණි බොහෝ දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා පාසල් ගිය ළමයි.
විශේෂයෙන් යුධ හමුදාවේ IT,Medical,CGSC, Engineer, Armetco, Logistics වගේත්, ගුවන් හමුදාවේ Aero Engineering, Ops Air, Admin,Accounts, Logistics, Aeronautical Field, යාන්ත්‍රික ඉංජිනේරු වලත් නාවික හමුදාවෙත් Naval Engineering field, යාන්ත්‍රික ඉංජිනේරු, අංශ ආදිය සඳහා භටයන් බඳවා ගැනීමේදී උසස් පෙළ වගේම ගණිතය, මව්බස, ඉංග්‍රීසි සහ විද්‍යාව වගේ විෂයන් සඳහා සම්මන පවා ඉල්ලනවා.සමහර විටෙක aat, nvq, කාර්මික විද්‍යාල වල අධ්‍යාපනය, පරිගණක සාක්ෂරතාව වගෙ දේවල් පවා බලනවා.
මොන අධ්‍යාපන , සමාජ ,ආර්ථික මටටම් වල ඉඳලා ආවත් මේ 8 පාස් ළමයි වගේම සෑම දෙනාම හමුදාගත වූ පසු ඔවුන් හදාරණ පුහුණු පාඨමාලා බොහෝමයක් තියනවා.ආධුනික පාඨමාලාව අවසන් වන විට සොල්දාදුවකු සතුව පැවතිය යුතු බොහෝමයක් ගුණාංග ඔවුන්ගේ ඇඟටම කා වදිනවා.
ඉන් පසුව ඔවුන් බොහෝ විට කරන්නේ තමන් බඳවාගත් රැකියාවට අදාල මූලික පාඨමාලාවන්. එහිදී ඔවුන් තමන්ගේ හමුදාව තුල role එක ඉගෙන ගන්නවා. අවියක් අතට ඕනෑම විටෙක දීලා යවන්න පුළුවන් සේවා පුද්ගලයකු එක පාරට නිර්මාණය වෙන්නේ නෑ. ඒ විනය සහ හික්මීම පුහුණුව සහ සතත අභ්‍යාස තුලින් ලැබෙන්නක්.
ඉන්පසු තම වෘත්තිය ටික කලෙකට කඳවුරක් තුල ප්‍රායෝගිකව භාවිතා කරලා අවුරුදු දෙක තුනක අත්දැකීම් එක්ක සේවා පුද්ගලයා තම වෘත්තියට අදාල උසස් පාඨමාලා සඳහා යොමු වෙනවා.එය දේශීය වගේම විදේශීය පුහුණු පාඨමාලාවක් වෙන්න පුළුවන්. බොහෝමයක් උසස් පාඨමාලා අවුරුද්දක් හෝ මාස හය ඉක්මවූ කාලයක් පුරාවට දිවෙනවා.
මේ පුහුණු අවසන් වෙනකොට 8 පාස් ආමිකාරයා, සිය වෘත්තිය පිළිබඳ මනා පරිචයක් සහිතයි.ඔහු වෙතින් භාහිර සමාජයේ උපාධිධාරී තරුණයකු සතුව පවා නොමැති පිළිවෙලක්, විනයක් සහ හික්මීමක් පෙන්නුම් කරනවා.
ඒ අතර මේ ටිකත් කියන්නම ඕන, යුද්ධය කාලයේ සිටි ආමිකාරයාටත් වඩා මහා වෙනසක් දැන් ඉන්න කොල්ලන්ගේ තියනවා.
මන්ද යත් එදා භටයා ගෙදර එන කොට අනුරාධපුරයේ දිම මාස ගානක පීඩනය මුදාහරින්න, බඩුවක් ගහන්න, බස් එකේ කෝච්චියේ ජැක් එකක් ගහන්න,පොඩ්ඩක් බොන්න, වගේ දේවල්, ගමේ ආවහම කෑල්ලක් ටෝක් කරන එක, වලියක් දාගන්න එක එහෙම ටිකක් සුලභව කලා. 8 පාස් ආමිකාරයා කියන කතාව හැඳෙන්න මූලිකව බලපෑවේ ඒ වගේ හැසිරීම්.මාස ගානකින්ගෙදර එන, ආපහු ගියහම ආයෙ නිවාඩුවක් එන්න පුළුවන් වේදැයි පවා සිතන්නට නොහැකි ජීවිත ගත කරපු ඔවුන්ගේ මේ හැසිරීම්, සාධාරණයි කියලා මටනම් හිතෙන්නේ.
දැන් වෙනකොට හමුදාවේ කොල්ලන් ඒ කාලෙ ආමිකාරයාගෙන් බොහෝ වෙනස් වෙලා. දැන් ඉන්න කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ අණ නොලත් නිලධාරීන් ලස්සන විවාහ ජීවිත ගත කරගෙන,ළමයින්ට උගන්නගෙන, ආදර්ශමත් ජීවිත ගත කරනවා. 2009 ට කලියෙන් අට පාස් ආමිකාරයා උනත් රණවිරු පදනම යටතේ දරුවන් හොඳ පාසලකට දාගෙන උගන්නලා කරලා අධිකාරීලත් නිලධාරීන් ලෙස තමන්ගේ හමුදාවටම දායාද කරනවා.
අද වන විට වසර අටක දහයක ජ්‍යේෂ්ඨතවයක් සහිත බොහෝමයක් හමුදා සෙසු නිලයන්, තම වෘත්තියට හෝ වෙනත් ක්ෂෙත්‍රයක විශේෂඥ දැනුම ලබා ගන්න අවශ්‍ය පාඨමාලා බොහෝමයක් සම්පුර්ණ කරනවා.
අට පාස් වෙලා හමුදාවට ආවට හමුදාව ඇතුලෙ ඉඳන් ඔවුන් ලබනා දනුම, අත්දැකීම් සහ පුහුණුව තුලින් ඔවුන් සිවිල් සමාජයේ අට පාස් වෙලා හංදියේ ත්‍රීවීලර් දුවන තරුණයාට වඩා බොහෝ පරිණතයි.
ඔවුන්ගේ තීන්දු තීරණ ගැනීම පවා බුකියේ රඟන, ටික් ටොක් තරුණයකුට වඩා ඉස්සරහින් තියෙන්නේ.
මේ සියල්ල ගත්කල “අට පාස් ආමිකාරයා” කියන එක ඇතුලේ ඔවුන් ඉහළ අණකට වැඩ කරන රූකඩ හෝ හිස් රොබෝවරු ස්වරූපයේ අය කියා හිතනවා නම්, එය හිතලුවක් පමණි.
ඒ කිව්වේ සෙසු නිලයා ගැන, හමුදාවේ ඉන්න අනෙක් අය තමා නිලධාරීන් (commissioned officers).ඔවුන් ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති අධිකාරය දරා සිටින්නන්.ආධුනික කැඩෙට් නිලධාරී පාඨමාලාවෙන් පසුව විසිරයාමේදී ඔවුන් අධිකාරයට පත් කරන අතර ඔවුන්ට අසිපතක් ප්‍රධානය කිරීම මගින් එකී අධිකාරය සංඛේතවත් කරනවා.
රාජ්‍ය නායකයාගේ කැමැත්ත තිබෙනතාක් ඔවුන් ඒ අධිකාරය (commission) දරා සිටිය යුතුයි.
“අට පාස් ආමිකාරයා” කියන කතාව මොවුන්ට නම් වලංගු වෙන්නේ නෑ.මන්ද යත් කැඩෙට් නිලධාරීන් විදිහට බඳවා ගැනීමේදී A/L සමත්ව තිබීම අත්‍යාවශ්‍ය කාරණයක්. ගුවන් නියමු වෘත්තියට, නාවික ඉංජිනේරු, විධායක සහ යුධ හමුදාවෙත් විශේෂිත රෙජිමේන්තු ආදිය වෙත බඳවා ගැනීමේදී A/L කරපු විෂය නිර්දේශය පවා බලනවා.(උදා – Maths,Bio)
ත්‍රිවිධ හමුදාවන් සඳහාම ඔවුන් සතු විද්‍යාපීඨයන් වෙත කැඩෙට් නිලධාරීන් (officer cadets)බඳවා ගන්නවා. ඔවුන් මූලික පුහුණුව මාස හයක් සිදු කරන අතර ඉන් පසු වසර දෙකක් පමණ තම ශාඛාවට අදාල වෘත්තිය පුහුණුව දියතලාව, චීන වරාය සහ ත්‍රිකුණාමලය හි පිහිටි Academy වලින් සම්පූර්ණ කරනවා. මොවුන්ට උපාධි පාඨමාලාව සඳහා වගේම උපාධි නොමැතිව හැදැරීම සඳහා අවස්ථාව ලැබෙන්නේ එහිදී.
අනෙක් කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීම තමයි, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හරහා ත්‍රිවිධ හමුදාවන් වෙත බඳවා ගැනීම.එහිදී වෛද්‍ය, නීති, සමාජ විද්‍යාව, වගේම සම සෞඛ්‍ය වෘත්තින් සඳහාවන උපාධි පාඨමාලා සඳහා A/L ප්‍රතිඵල මත දරුවන් හා දැරියන් බඳවා ගන්නවා.ඔවුන් එහිදී හමුදා පුහුණුව වගේම උපාධියට අදාල හැදෑරීම්ද, සම්පූර්ණ කරනවා.පසුව ඔවුන් තම තමා තෝරාගත් හමුදාවේ අධිකාරය ලබා ගන්නවා. ඔවුන් තම උපාධිය අනුව වෘත්තියට අදාල අංශ සහ රෙජිමේන්තු වෙත යොමු කරනවා. ගුවන් නියමු, නාවික විධායක, ඉංජිනේරු සහ වෛද්‍ය වගේ අංශ වලට අනුයුක්ත කරන අය එහිදී තම විශේෂිත පුහුණුවීම් සහ අවශ්‍ය විභාග ආදිය අධිකාරීලත් නිලධාරීන් වශයෙන් සිටිමින්ම සම්පූර්ණ කරනවා.
මේ දෙවිදිහටම එන සෑම අධිකාරීලත් නිලධාරීයකුම පසුව තම ක්ෂේත්‍රයේ උසස් පාඨමාලා, පශ්චාත් උපාධි, අනෙකුත් අවශ්‍ය සුදුසුකම් ලබා ගැනීම සඳහා කටයුතු කරනවා.
මාණ්ඩලික නිලධාරී මූලික පාඨමාලාව, ත්‍රිවිධ හමුදාවන් සඳහාම බටලන්දේ පවත්නා අණ සහ මාණ්ඩලික පුහුණු ආයතනය වෙතින් psc, විදේශීය පුහුණු පාඨමාලා, වගේම ජ්‍යේෂ්ඨතවයටපත් වීමත් සමඟ විදේශීය ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයන් හි වසරකට වැඩිකලක් පුහුණුව ලැබීමෙන් පසුන් ndc යන හමුදා නිලධාරීන් සඳහාම වෙන්වූ පාඨමාලාවන් සම්පූර්ණ කරනවා.
ඊට අමතරව හමුදා නිලධාරීන් human resources management, human rights, international relationship, logistics, defense management වගේ උපාධියක සිට පශ්චාත් උපාධිය දක්වා අමතර සුදුසුකම් ලෙස හැදෑරීම සාමාන්‍ය දෙයක්.
දේශීය වගේම විදේශීය යුධ විද්‍යාල,විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතන වෙතින් ඔවුන් බොහෝ හැදෑරීම් කරනවා.
හමුදා නිලධාරීන් ලෙස මෙකී කැඩෙට් නිලධාරීන්ට අමතරව බඳවා ගන්නා තවත් නිලධාරීන් කොට්ඨාසයක් ඉන්නවා.ඔවුන් තමා ඉඳුරාම අදාල වෘත්තිය වෙනුවෙන්ම බඳවා ගන්නා ශිෂ්‍ය නිලධාරීන් (student officers).
ඔවුන් බඳවා ගන්නේ හමුදාවේ අවස්ථානුකූල අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහායි.එහිදී අධ්‍යාපන සුදුසුකම් ලෙස උපාධිය සම්පූර්ණ කල හෝ සම්පූර්ණ කිරීමට අසන්නයේ සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බඳවා ගැනීම සිදු වනවා.
විශේෂයෙන් හමුදාවන් හි නීති අංශයන් වෙත ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දුන් නීතීඥවරුන් බඳවා ගැනීම, වෛද්‍ය උපාධිධාරීන්, සත්ව වෛද්‍ය සහ දන්ත වෛද්‍ය උපාධිධාරීන් (මොවුන් බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුන් පවා බඳවා ගන්නවා), සිවිල් ඉංජිනේරුවන්, තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්, යාන්ත්‍රික ඉංජිනේරුවන්, කෘෂිකර්ම උපාධිධාරීන්, ගිණුම්කරණය, කලා සහ වානිජ්‍යවේදී උපාධිධාරීන් පවා මෙහිදී බඳවා ගැනෙනවා.
එහිදී ඔවුන් වෙත සුදුසුකම් මත නිලය ලබාදීම සිදු වෙනවා.මාස කිහිපයක පුහුණුවකින් පසු ඔවුන් කෙලින්ම අධිකාරීලත් නිලධාරීන් ලෙස වැඩ කිරීම පටන ගන්නවා.
මෙහිදී නිල ලබා දීමේදී උදාහරණයක් ලෙස නීති නිලධාරීන් ලෙස බඳවා ගන්නෙකු නිල පෙලගැස්මේ තුන් වන නිලයේ පිහිටුවා බඳවා ගන්නවා.යුධ හමුදාවේ නම් කැප්ටන්, ගුවන් හමුදාවේ නම් ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සහ නාවික හමුදාවහි ලෙෆ්ටිනන්ට් නිලය ලබා දෙනවා.
ඒ විතරක් නෙවේ සුදුසුකම් සහ හමුදාවේ අවශ්‍යතාවය මත ඊට ඉහල බ්‍රිගේඩියර්, එයාර් කොමඩෝර් සහ කොමඩෝර් වගේ නිලයන්ට පවා කෙලින්ම ඍජුවම බඳවා ගන්නවා.
ඊට අමතරව හමුදාවේ තියන තවත් බඳවා ගැනීමක් තමා ගෞරවනීය අධිකාරය ලබා දීම
(honorary commissioned) හමුදාවේ අවශ්‍යතාවය මත වෛද්‍ය විශේඥවරුන්, අද්වකාත් විනිසුරු වරුන්, වෙනත් ක්ෂේත්‍රයන් හි විශේෂඥයන් බඳවා ගැනීමේදී මේ ක්‍රමය අනුගමනය කරනවා.මෙහිදී බොහෝ විට අදාල නිලධාරීයා වෙනත් රජයේ සෞඛ්‍ය අංශය යටතේ, නීති ක්ෂේත්‍රයේ, ඉංජිනේරු සේවයේ, ගණකාධිකාරි සේවයේ වගේ ඉඳලා යම් කාලයකට secondment එකක් විදිහට හමුදාවේ නිලයක් දරමින් කටයුතු කරනවා. එහිදී නිල ඇඳුම අඳින අවස්ථා වගේම නිලය දැරුවත් නිල ඇඳුම නොඅඳින නිලධාරීන් සිටිනවා.
එය ගෞරවනීය අධිකාරයට පත්වීමක් වගේම බඳවා ගන්නා නිලයට හිමි දීමනා සහ පහසුකම් ලබා ගන්න පුළුවන්.පෙර කල රැකියාවට අදාල මූලික වැටුප පමණක් ලබා ගැනීමට හැකි අතර, එම ආයතනයේ කටයුතු සඳහා ද, යෙදිය හැක.
“අට පාස් ආමිකාරයා” කිව්වට ඔය කුලකය ඇතුලේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට ලකුණු තිබිලත් විශ්වවිද්‍යාලෙට නොගිහින් ආපු අයත්,උපාධිය අරන් විතරක් නෙවේ පශ්චාත් උපාධියත් අරන් ආපු උදවිය ඉන්නවා.
ඒ නිලධාරීන් අතරේ නේදැයි යමෙක් අහන්නත් බැරි කමක් නෑ.
සෙසු නිලධාරීන් අතරත් උසස් පෙළ හොඳට සමත් වෙලා ආර්ථික සහ සමාජීය සාධක හේතුවෙන් අධිකාරීලත් නිලධාරීයකු ලෙස එන්න නොහැකිව සෙසු නිලයකු ලෙස පැමිණි උන් බොහෝමයි.
ඒ වගේම තමයි අවුරුදු 20න් ඇවිත් 42න් pension යනකොට ඔය අටපාස් ආමිකාරයන්ගෙන් බහුතරයක් තමන්ටම කියලා ලස්සනට ගෙයක් දොරක් හදාගෙන, ළමයින්ට උගන්නගෙන,පෙන්ෂන් ගිහින් කරන්න තමන්ගේම කියලා ව්‍යාපාරයක් හෝ වෙනත් වැඩසටහනක් හදා ගෙන ඉවරයි.
සමහර උපාධිධාරීන්ට පවා රැකියාවක් දී ගෙන විශ්‍රාම ජීවිතය තමන්ගේම දෙයක් කරන අටපාස් ආමිකාරයෝ නැතිවාම නොවේ.
ඒ වගේම හමුදාවෙන් තමන් ලත් පුහුණුව සහ පන්නරය එක්ක උපාධිධාරීන් පවා පාලනය කරනා රැකියාවල නිරත අටපාස් ආමිකාරයෝද නැතිවා නොවේ.
පාස් උනේ “අට” ද,උසස් පෙළ ද, උපාධිය ද, පී.එච්.ඩී එකද? යන්න වැදගත් නොවේ.
වැදගත් වන්නේ ඒ “සමතා” විසින් තම මනුෂ්‍ය වර්ගයාට, රටට, ජාතියට කොතරම් ලැදියාවක් සහිතව ඒ උදෙසා කොතෙක් කැප වෙනවාද?
එකී “සමතා” තමා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් ගන්නා වැටුපට කොතරම් සාධාරණයක් ඉටුකරනවාද? යන්න මතය.

සංවාදයට සහ විවේචනයට විවරය.

සටහන – ප්‍රබුද්ධ දහනායක

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම