බොහෝ දවසකින් ඔබ වෙනුවෙන් යමක් …

, , Leave a comment

බොහෝ දවසකින් ඔබ වෙනුවෙන් යමක් ලියන්න බැරිවීම ගැන සමාව අයදින ගමන්,
පුරවැසියන් ලෙස අප විසින් දැන සිටිය යුතුම එදිනෙදා ජීවිතයට දැන සිටීම අත්‍යාවශ්‍ය නීතිමය ප්‍රතිපාදන කිහිපයක් ගැන ලියන්න හිතුනා.
මේ ගැන දැන සිටීම ඉඩකඩම් මිලදී ගැනීමේදී වංචනිකයන්ට හසු වීම වලක්වා ගන්න වගේම, තම තමන්ගේ ඉඩකඩම් පරිස්සම් කර ගන්නත් වැදගත් වේවි.
ඒ වගේම තමන්ගේ දේපල දරු මුණුපුරන් වෙත ලියා දෙන අයකුට වගේම මරණයට පෙර අවසන් කැමැත්තක් ලියා තබන්නට බලාපොරොත්තු තියාගෙන ඉන්න උදවියටත් වැදගත් වේවි.

අද කතා බහ ඔප්පු තිරප්පු ආදිය ගැනයි.

* ඔප්පුවක් සහතික කිරිමේ බලය ඇත්තේ කාටද?

ප්‍රසිද්ධ නොතාරිස්වරයකුට

* ප්‍රසිද්ධ නොතාරිස්වරුන් පත් කරන්නේ කවුද?

ස්වදේශ කටයුතු පිලිබද ඈමති

* සියලුම නීතිඥ වරුන් නොතාරිස්වරු වන්නේ ද?

නැත.
සමහර නීතිඥවරු නොතාරිස් ලෙස කටයුතු කිරිමේ බලපත්‍රය ලබා ගෙන නොමැත.

* ඔප්පුවක් පිටපත් කියකින් යුතුව සකස් කල යුතු ද?

පිටපත් තුනකින් සකස් කලයුතුයි.
1 මුල් ඔප්පුව
2 දෙවන පිටපත
3 නොතාරිස්වරයාගේ පිටපත

* ඔප්පුවක් සහතික කල යුත්තේ සාක්ෂි කරුවන් කී දෙනෙකු ඉදිරිපිට ද?

සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ සහතික කලයුතුයි

* ඔප්පු ලියාපදිංචිය කරනුයේ කවර ආයතනය ද?

ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාලය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එකක් වගේ තියනවා.

* දේපල සම්බන්ධ විස්තර අන්තර්ගත වන්නේ ඔප්පුවක කවර කොටසේද?

උපලේඛනය නමින් දක්වා ඇති කොටසේ.
එහි ඉඩම අයත් පලාත,දිස්ත්‍රික්කය,කෝරළය සහ පත්තුව මුලින් සඳහන් වනවා.
ඉන් පසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, පලාත් පාලන ආයතනය, ග්‍රාම නිලධාරී වසමේ තොරතුරු සමඟ පිහිටි ගම, ඉඩමේ නම ආදී විස්තර ඇතුලත්.
ඒ වගේම ඉඩම මැනීම් කර පිඹුර සකස් කල මිනින්දෝරු තැනගේ නම, පිඹුරු අංකය සහ දිනය දක්වා තියනවා.
මීළඟට ඉඩමේ මායිම් වෙන්වෙන්ව සඳහන් කරන අතර ඒ මායිම් තුල පවත්නා බිමෙහි ප්‍රමාණය කියැවෙනවා.

* අන්තිම කැමැති පත්‍රයක් කියන්නේ කුමක් ද?

යමෙකුට තම නිශ්චල චංචල දේපල ජීවතුන් අතර සිටියදී පවරා දීමක් නොකර තම මරණයෙන් පසුව කවරාකාරයෙන් බෙදීම් කලයුතු යැයි සිතන්නේ නම් අන්තිම කැමැත්තක් ලියා තබන්නට පුළුවන්.
එහිදී තම උරුමකරුවන් වන දරු මුණුපුරන් හෝ සහෝදර සහෝදරියන්,දෙමාපියන් වැනි ළඟම ඥතීන් හැර වෙනත් පාර්ශවයකට හෝ ආයතනයකට උනත් තම දේපළ ලියා දෙන්න පුළුවන්.

* අන්තිම කැමති පත්‍රයක් නොතාරිස්වරයකු ඉදිරියේම ලියන්න අවශ්‍යද?

නැහැ. මෙය ආකාර දෙකකට කරන්න පුළුවන්.
1. නොතාරිස්වරයකු සහ සාක්ෂිකරුවන් ඉදිරියේ
2. අන්තිම කැමැත්ත ලියන පාර්ශවය සහ සාක්ෂිකරුවන් ඉදිරියේ

* අන්තිම කැමති පත්‍රයක් පිටපත් කීයකින් යුතුව පිලියෙල කල යුතුද?

අනිවාර්යයෙන් පිටපත් දෙකකින් හෝ ඊට වැඩි ගණනකින් සකස් කරන්න පුළුවන්.

* එය සකස් කල යුත්තේ සාක්ෂිකරුවන් කී දෙනෙකු ඉදිරිපිටද?

1. සාක්ෂිකරුවන් 2
(නොතාරිස්වරයකු ඉදිරියේ ලියා සහතික කරන විට )

2. සාක්ෂිකරුවන් 5
(නොතාරිස්වරයකු නොමැතිව පාර්ශවයන් සකස් කරන විට )

අත්සන් කරන සාක්ෂිකරුවන් අන්තිම කැමැත්තහි සඳහන් දේපල හිමිකරුවන් ලෙස නම් කල අයවළුන් වන්නට බෑ.
ඒ වගේම යම් අධ්‍යාපන මට්ටමක්,උගත්කමක්, සහිත සමාජය විශ්වාස කරන පුරවැසියන් වනවා නම්, පසුව එන ගැටළු වලදී වැදගත් වේවි.

* කොඩිසිල් පත්‍රයක් යනු කුමක්ද?

අන්තිම කැමති පත්‍රයකට යම් එකතු කිරිමක් හෝ වෙනස් කිරිමක් සිදුකල යුතු අවස්ථාවක ඒ සඳහා කොඩිසිල් පත්‍රයක් සකස් කල යුතුයි.

* ඔප්පු වර්ග මොනවද?

1. සින්නක්කර/ විකුණුම්කර
2. තෑගි ඔප්පු
3. බදු ඔප්පු
4. උකස් ඔප්පු
5. ප්‍රකාශන ඔප්පු
6. අයිතිය අත් හැරීමේ ඔප්පු
7. ජීවිත භුක්තිය අහෝසි කිරීමේ ඔප්පු
8. හවුල් ව්‍යාපාර ඔප්පු
9. හුවමාරු ඔප්පු
10. අකරදාරු
11. ඇටෝර්නි බලපත්‍ර

* සින්නක්කර ඔප්පුවක් මගින් අයිතිය පවරන්නේ කොහොමද?

මෙහිදී විකුණුම්කරු ප්‍රකාශ කරන ප්‍රතිශ්ඨාවට ගැණුම්කරු මුලින් කැමති විය යුතුයි.
ඉන්පසු ඒ එකඟතාව අනුව මූල්‍යමය වටිනාකම ගෙවලා ඉඩමේ අයිතිය ගැණුම්කරු වෙත මාරු කරන්නේ සින්නක්කර ඔප්පුවක් හරහා.
මෙහිදී දැන් නියම ගණුදෙනු වූ වටිනාකම ඔප්පුවේ සඳහන් කලයුතුයි.වටිනාකම අඩුවෙන් දාලා තිබෙන බව ඉඩම අයත් පලාතේ ආදායම් කොමසාරිස් කාර්‍යාලය වෙත පෙනී ගියහොත් දඩයක් අය කරනවා.මුද්දර ගාස්තු ලෙස. එය වලක්වා ගැනීමට දැන් ඔප්පුවක් ලියන්න කලින් එහි කෙටුම්පතක් ආදායම් කාර්‍යාලය වෙත ඉදිරිපත් කර අනුමත කර ගත යුතුම වෙනවා.

* සින්නක්කර ඔප්පුවක් ලියන්න ඉන්න ඕන කවුද?

විකුණුම්කරු ලෙස ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තිබෙන අයවළුන් අත්සන් කල යුතුයි.
ගැණුම්කරු ලෙස නම සදහන් අය නම් අත්සන් කරන්නේ නෑ.
ඒ වගේම යමෙකුට ඉඩම අයිති අය විසින් විකිණීමේ බලය සහිතව ඇටෝර්නි බලපත්‍රයක් දීලා තිබෙන විට, ඇටෝර්නි බලකරුට අත්සන් කරන්න පුළුවන්.

* තෑගි ඔප්පුවක් කියන්නේ කුමක්ද?

ඉඩමක අයිතිය හිමි අයකුට එම දේපල තම දරුවන්ට,මුණුපුරන්ට හෝ පවුලේ වෙනත් ලඟම නෑදෑයකුට පවරා දෙන්න අවශ්‍ය වූ විටක තෑගි ඔප්පුවක් මගින් ඒ පැවරීම කරන්න පුළුවන්.

* තෑගි ඔප්පුවකින් දේපලක් පෑවරීමේදී තෑගි දීමනාකරුට තවදුරටත් රදවාගත හැකි අයිතිවාසිකම් මොනවාද?

1. ජිවිත භුක්තිය
2. ඔප්පුව අවංගු කිරිමේ අයිතිය

* බදු ඔප්පුවක් කියන්නේ කුමක්ද?

දේපලක අයිතිවාසිකම් නැතිව භුක්ති විඳීමට පමණක් යමකු වෙත බැහැර කරනවා නම්, එය බදු ඔප්පුවක් මගින් කරන්න වෙන්නේ.
මෙහිදී පාර්ශවයන් අතර මාසිකව හෝ වාර්ෂිකව එකඟවූ මුදලකට බදු දෙන අතර එහිදී පාර්ශවයන් අතර කොන්දේසි තිබේ නම්, ඒවාද ඇතුලත් කරන්න පුළුවන්.
බදු ඔප්පු යම් කාල සීමාවකට බලපැවැත්වෙන ලෙස සකස් කරන ලේඛනයක්.

* උකස් ඔප්පුවක් යනු?

යම් දේපලක් ඇපයට තබා ණය මුදලක් ලබා ගන්න අවස්ථාවක මේ ඔප්පු ලියා සහතික කරනවා.
විශේෂයෙන්ම බැංකු සහ මූල්‍ය ආයතනය වලට පමණයි ඉඩමකට අදාලව උකස් ඔප්පුවක් ලියන්න පුළුවන්.
පොලියට සල්ලි දෙන මුදලාලිලාට බෑ උකස් ඔප්පු මත දේපල ලියා ගන්න.

* පොලී මුදලාලිලා ඉඩම් ඇපයට අරන් සල්ලි දෙන්නේ කොහොමද?

එයාල බොහෝ විට පදිංචිව ඉන්න ඉඩම් වලට සල්ලි දෙන්නේ නෑ.හිස් ඉඩම් තමයි ගන්නේ.
මෙහිදී එයාල තම නමට ඉඩමේ අයිතිය බොහෝ විට සින්නක්කර ඔප්පුවක් මගින් ලියා ගන්නවා.
ඒ ඉඩමේ පවත්නා වෙළෙඳ පොල වටිනාකමට වඩා බොහෝ අඩු මුදලක් ණයට දීලා.

* මෙරට දේපල අයිතිය සුරක්ෂිත කිරිමේ අරමුනින් 1998 වසරේ දී සම්මත කල පනත කුමක්ද?

1998 අංක 28 දරණ හිමිකම් ලියාපදිංචි කිරිමේ පනත

* හිමිකම් සහතික කියන්නේ කුමක්ද?

ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 1998 අංක 28 දරණ හිමිකම් ලියාපදිංචි කිරිමේ පනත ප්‍රකාර හිමි බලය අනුව රටේ සෑම ඉඩමක්ම නිරවුල් කර, චන්ද්‍රිකා තාක්ෂණයෙන් මැන කැඩැස්තර සිතියම් සකස් කරගෙන යනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ මැනුම් සිදුකර හිමිකම් සහතික ලබාදීම සිදිවෙමින් යනවා.
මෙය තනි කොලයක ලේඛනයක්.එහි කැඩැස්තර සිතියමේ විස්තර සහ අයිතිය පවතින කොටසේද පිඹුරක් ඇතුලත්.
අයිතිය හුවමාරු වීමේදී ඔප්පුවලට වඩා වෙනස් ලේඛනයක් භාවිතා කරනවා.එය සාධන පත්‍රයක් ලෙස හඳුන්වනවා.
එය විශේෂිත සම්මත ලේඛනයක් වන අතර නොතාරිස්වරුන් විසින් හිමිකම් සහතික වලට අදාල කටයුතු වලදී ඒ සම්මත ලේඛන භාවිතා කරන්න අවශ්‍ය වනවා.

* හිමිකම් සහතික වලින් ලැබෙන අයිතිය

හිමිකම් සහතික මගින්
1. ප්‍රථම පන්තියේ හිමිකම් සහතික ( ඉඩමේ අයිතිය නිරවුල් නම්)
2. දෙවන පන්තියේ හිමිකම් සහතික
(ඉඩමේ අයිතිය නිරවුල් නොවන [නොබෙදූ] විට)
3. තෙවන පන්තියේ හිමිකම් සහතික
(ඉඩමේ අයිතිය තහවුරු කිරීමට අපහසු [ප්‍රකාශන ඔප්පු] විට)

* හිමිකම් සහතික වල අයිතිය හුවමාරු වීම සඳහන් වන්නේ කෙසේද?

නොතාරිස්වරයා සකස් කරන සාධන පත්‍රය (විකුණුම්/තෑගි/බදු) හිමිකම් රෙජිස්ට්‍රාර් වෙත හිමිකම් සහතිකයේ මුල් පිටපත සමඟ ඉදිරිපත් කල යුතුයි.
ඉන්පසු එහිදී සාධන පත්‍රයහි විස්තර අනුව අයිතිය මාරු වීම හිමිකම් සහතිකයේ අනෙක් පස දැක්වෙන වගුවේ මුද්‍රණය කර ලබාදෙනවා.

* තට්ටු නිවාස නැතිනම් මහල් නිවාස වල ඔප්පු හැදෙන්නේ කොහොමද?

මේ හදන සෑම මහල් නිවාස සංකීර්ණයක්ම සහධිපත්‍ය දේපල අධිකාරියේ ලියාපදිංචි කරන්න ඕන.
සහධිපත්‍ය පිඹුර ලියාපදිංචි කරන්න ඕන.
නිවාස ඒකක වෙන් වෙන්ව දක්වා සැලසුම් සකස් කර ලියාපදිංචි කරන්න ඕන.

* මහල් ගොඩනැගිල්ලක එක මහලක් විකිණීමේ දී අදාල කරගනු ලබන්නේ කවර ඔප්පුවක් ද?

සහාධිපත්‍ය ඔප්පුව
මෙහිදී සින්නක්කර ඔප්පුවක් වගේම සකස් කරන්න පුළුවන්.
දැනට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉදිකර ඇති මහල් නිවාස බොහොමයක අදාල ලියාපදිංචි කටයුතු වෙලා නෑ.
ඒ නිසා බොහෝ වෙලාවට අත්සන් කරන්නේ විකිණීමේ පොරොන්දු ගිවිසුමක් වගේ ලේඛනයක් තමයි.

* ඇටෝර්නි බලපත්‍රයක් කියන්නේ කුමක්ද?

යම් දේපලක අයිතිවාසිකම් සහිත අයකුට ඒ අයිතිය වෙනත් පුද්ගලයකුට ලබා දෙන්න ඇටෝර්නි බලපත්‍රයක් සකස් කිරීමෙන් පුළුවන්.
ඇටෝර්නි බලපත්‍ර වර්ග දෙකක් තියනවා.
1. සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍ර
2. විශේෂ ඇටෝර්නි බලපත්‍ර

මෙහිදී දේපළක් විකිණීමට, බදු දීමට හෝ උකසට තැබීම වගේ ඕනෑම කටයුත්තක් කරන්නත්, ඒ වෙනුවෙන් අත්සන් තැබීමට වගේම මූල්‍ය කටයුතු කරන්නත් බලය සාමාන්‍ය ඇටෝර්නි බලපත්‍රයක් මගින් ලබා දෙන්න පුළුවන්.
බැංකු කටයුත්තක්,වගේ විශේෂයෙන් බලය ලබාදීමට අවශ්‍ය විටක විශේෂ ඇටෝර්නි බලපත්‍ර සකස් කෙරෙනවා.
විශේෂයෙන් දේපලක අයිතිය ඇති අයකු විදේශගත වන් විටෙක වගේ මෙවැනි ඇටෝර්නි බලපත්‍ර ලියා සහතික කරනවා.

* ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කරනු ලබන්නේ කවර ආයතනයක් ද?

රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය මගින් මෙය සිදු කරන අතර දිස්ත්‍රික් මට්ටමේ කාර්‍යාලයන් මගින් එක් දින සේවය යටතේ පවා ලියාපදිංචි කිරීම් කල හැකියි.

* ඉඩම අයත් පලාත් පාලන ආයතනය කියන්නේ කුමක්ද?

ඒ කියන්නේ ඉඩමේ පිහිටීම අනුව එය අයත් වන ප්‍රාදේශීය සභාව, නගර සභාව හෝ මහ නගර සභාවයි.

* ඉඩම්වලට අදාල පලාත් පාලන ආයතන මගින් නිකුත් කරනු ලබන ලියවිලි කවරේද?

1. වීදි රේඛා සහතිකය
2.නොපවරා ගැනීමේ සහතිකය
3. පිඹුර අනුමත කරගැනීමට අදාල ලේඛන
4. වරිපනම් ලේඛන
5. ගොඩනැගිලි සැලසුම අනුමත කිරීමේ ලේඛන

* කේවියට් තහනමක් යනු කුමක්ද?

කේවියට් පත්‍රයක් ලියාපදිංචි කිරිමේ අරමුණ වන්නේ එහි සදහන් ඉඩමට අදාල යම් ඔප්පුවක් ලියාපදිංචි කිරිම සදහා ඉදිරිපත් කරන ලද්දේ නම්, ඒ පිලිබදව කේවියට්කරුට දැන්වීමක් කිරීමට ඉඩම් කාර්‍යාලය කටයුතු කරනවා.
එහිදී කේවියට්කරු අදාල ඉඩම විෂයෙහි තමා වෙත පවත්නා අයිතිය ඉදිරිපත් කලයුතුයි.
ඉඩම්වලට කිසිදු අයිතියක් නොමැති පුද්ගලයන් වෙත කේවියට් දාන්න බැරිවෙන්න, දැන් කේවියට් බලපත්‍ර සමඟ ඉඩමට ඇති අයිතිය පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නවා.

* හිමිකම් වාර්තාවක් යනු කුමක්ද?

මෙය යම් නිශ්චල දේපලක් සම්බන්දයෙන් ප්‍රමාණවත් පලපුරුද්දක් (වසර 10ක 15ක) ඇති නොතාරිස්වරයෙකු වන නීතිඥවරයෙකු විසින් අදාල දේපළ හිමිකම් හුවමාරු වී ඇති ආකාරය පිලිබඳ ඉඩම් කාර්‍යාලයේ පවත්නා පත් ඉරු සහ ඔප්පු ලේඛන පරීක්ෂා කරලා සකස් කරනු ලබන වාර්තාවක්.
මෙහිදී වසර තිහ (30) කට වැඩි ඉතිහාසයක ඉඩමේ නිරවුල් බව සොයා බැලෙනවා.
ඉඩම් මිලදී ගන්න විට වගේම දේපළ ණය ලබා ගැනීමට බැංකුවලට උකස් තබන විට මේ වාර්තා සකස් කරනවා.

* මේ ඔප්පු තිරප්පු වලට අදාල මුද්දර ගාස්තු අය කිරීම්

විකුනුම්කරයක් දේපල වටිනාකමින් පලමු රු. 100,000 – 3%
ඉතිරි කොටස – 4%
තෑගි ඔප්පුවක් දේපල වටිනාකමින් පලමු රු.50,000 – 3%
ඉතිරි කොටස – 2%
මේ මුද්දර ගාස්තු ඉඩම අයත් පලාතේ පලාත් ආදායම් කොමසාරිස් ගිණුමට බැරවන සේ ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ විශේෂ රිසිට් පත් මගින් ගෙවීම් කලයුතුයි.

බදු ඔප්පු සඳහා එහි සඳහන් වටිනාකමෙන් 1% මුද්දර ගාස්තු ආදායම් මුද්දර අලවා ගෙවිය යුතුයි

උකස්කර, ප්‍රකාශන, අයිතිය අත් හැරීමේ ඔප්පු වලදී රු. 17.50 සහ රු. 12.50
ඇටෝර්නි බලපත්‍ර සඳහා එහි ඡායා පිටපතට රු.4.00 ක තැපැල් මුද්දර ඇලවන්න ඕන.

ඒ වගේම සෑම ඔප්පුවකම මුල් පිටපතේ රු.1.00 ක තැපැල් මුද්දරයක් අලවා නොතාරිස්වරයා අත්සන් තබා අවලංගු කලයුතුයි.

අන්තිම කැමති පත්‍ර සදහා
මුද්දර ගාස්තු නැත

නොතාරිස් පනතේ අලුත්ම සංශෝධන සහ අනෙකුත් නීතිමය ප්‍රතිපාදනයන් ගැන පසුව කතා කරමු.

සටහන.
ප්‍රබුද්ධ දහනායක

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම