මහජන ආරක්ෂාව සහ රටේ නීතිය සහ ස…

, , Leave a comment

මහජන ආරක්ෂාව සහ රටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමත්, රටේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම උදෙසාත් මැදිහත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවන්ට පවත්නා නීතිමය තත්වයන් පිළිබඳ රටේ පුරවැසියාගේ දැනුම්වත් බව වැඩි කරන්න සටහනක් තබන්නට අවැසි කියා සිතිලා බොහෝ දවසක්.නමුඳු කාර්‍ය්බහුලත්වය එක්ක දවසින් දවස කල් ගියා.
ලද ඉස්පාසුවක ඒ සටහන අද මෙලෙසින් අකුරු කරන්නට සිතුනා.

රට තුල උද්ගතව ඇති උද්ඝෝෂණ,අරගල සහ කැරලි කෝලාහල තත්වය හමුවේ හමුදාවේ කාර්‍යභාරයත්, ඒ සඳහා මැදිහත්වීමට ඔවුන් සතු නීතිමය තත්වය.
—————————————————-
ශ්‍රී ලංකාව තුල නීතිය සහ සාමය පවත්වාගෙන යාමත්,අපරාධ සහ පොදු හිරිහැර වලින් පුරවැසියා ආරක්ෂා කිරිම සඳහා වන වගකීම ඇත්තේ ශ්‍රී ලංකා පොලිසියටයි.ඒ බව පොලිස් ආඥාපනතේ 56 වගන්තියේ සවිස්තරාත්මකව දක්වා තියෙනවා.එය පොලිස් නිලධරයකු සතු වගකීමක් වගේම යුතුකමක්ද වන බව එහි සඳහන්.
නමුත් රට තුල මහජන ආරක්ෂාව,මහජන දේපල ආරක්ෂාව වගේම නීතිය හා සාමය තහවුරු කිරීමටත්, අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් පොලිසියට අමතරව හමුදාවන්ටත් නෛතික බැඳීමක් තිබෙනවා.එය පහත අවස්ථා තුන (3)ක් යටතේ කතා කරන්න පුලුවන්.
i. සාමාන්‍ය නීතිය බලපැවැත්වෙන විට
ii. 1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනතේ 5 වන වගන්තිය ප්‍රකාර හදිසි නීතිය ක්‍රියාත්මක වන විට
iii. 1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය ප්‍රකාර ත්‍රිවිධ හමුදා කැඳවා ඇති විට

සාමාන්‍ය නීතිය බලපැවැත්වෙන විට
————————————————————
රට තුල කිසිඳු විශේෂිත නීතියක් බලාත්මක නොවන අවස්ථාවකදී හමුදාවට සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් වන කාරණයන් හිදී මැදිහත්වීම් කිරීම සඳහා වන බලය පහත නෛතික මූලාශ්‍ර තුලින් ලබා දී තිබෙනවා.
i. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ii. යුධ,ගුවන් සහ නාවික හමුදා පනත්
iii. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය
iv. දණ්ඩ නීති සංග්‍රහය
v. 1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනත
vi. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත
මෙහිදී මූලිකව වැදගත් අණ පනත් ලෙස හඳුන්වන්න පුලුවන්.

i. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මුඛ්‍ය නීතිය.අනෙක් සියළු නීති අණ පනත් එයට පහලින් තමයි ක්‍රියාත්මක වන්නේ.
අපේ 1978 ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂාව යන්න වෙනම පරිච්ඡේදයකින් විස්තර කරලා තියනවා.එහි 155 ව්‍යවස්ථාවේ සහ අනුව්‍යවස්ථා තුල ඒ බව සවිස්තරාත්මකව දක්වා තිබෙනවා.ඒ අනුව මහජන ආරක්ෂාව උදෙසා 1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනත බලාත්මක කිරීමේ හැකියාව ව්‍යවස්ථාපිතව පිළිගෙන තිබෙනවා.
ඒ අනුව රටේ මහජන ආරක්ෂාවට සහ මහජන දේපල ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂණ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නීතිමය හැකියාවක් ඇති අතර එහිදී හමුදාවන්ට ඒ උදෙසා මැදිහත්වීමක් කරන්න නීතිමය හැකියාවක් ලැබෙනවා.

ii. යුධ,ගුවන් සහ නාවික හමුදා පනත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිතව එලෙස බලය තිබුනත්, හමුදාවන් ස්ථාපිත කිරීමට අදාලව සම්මතව පවත්නා එක් එක් හමුදාවන්හි පනත් තුලින්ද ත්‍රිවිධ හමුදාවන් වෙත කැරලි මර්ධනය, ජනතා අරගල ආදිය මැඩ පැවැත්වීමට වගේම රටේ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මැදිහත්වීමක් කරන්න අවැසි නීතිමය බලය ලබාදී තිබෙනවා.
එහිදී 1949 අංක 21 දරණ යුධ හමුදා පනතේ 3, 19 සහ 23 වන වගන්ති ඉතා වැදගත්.ඒ වගේම 1949 අංක 41 දරණ ගුවන් හමුදා පනතේ 3,19 සහ 161 දරණ වගන්ති වගේම 1950 අංක 34 දරණ නාවික හමුද පනතේ 3 සහ 16 වගන්තින් මෙහිදී ඉතා වැදගත්.
මේ අනුව රටේ ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදවන් ප්‍රකාශනයක් මගින් සක්‍රීය සේවයට කැඳවීමට හැකියාවක් ඇති අතර එලෙස කැඳවීම් ලද විටක රටේ ආරක්ෂාව උදෙසා වගේම රට තුල පවත්නා අභ්‍යන්තර කැරැල්ලක්, හමුදා කැරැල්ලක් හෝ වෙනත් කවර ආකාරක නොසන්සුන්කාරී වාතාවරණයක් මැඩපැවැත්වීම සඳහා මැදිහත්වීමට හැකියාවක් නීතිය ප්‍රකාරවම ලබා දී තිබෙනවා.
ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ නිත්‍ය,නිත්‍ය උප සේවයේත්, ස්වේච්ඡා සහ ස්වේච්ඡා උප සේවයේත් සිටින සක්‍රීය සේවයේ නියුතු ඕනෑම අධිකාරීලත් නිලධාරීන්ට සහ සෙසු නිලයකට අවශ්‍යතාව ප්‍රකාර අවශ්‍ය මැදිහත්වීම කරන්න හමුදා පනත් තුලින්ම බලය ලැබී තිබෙනවා.
ඒ වගේම යුධ හමුදා පනතේ 23 වන වගන්තිය ප්‍රකාර රටේ විදුලිය,ජලය,ඉන්ධන,ආහාර, සන්නිවේදන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සම්පාදනයට යම් බාධා ඇතිවූ අවස්ථාවක එකී කරයුතු පවත්වාගෙන යාම සඳහා මැදිහත්වීම් කරන්න් හමුදාව වෙත බලය ලබා දී තිබෙනවා.

iii. 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය

රටතුල සාමාන්‍ය නීතිය බලපැවැත්වෙන ඒ කියන්නේ සාමාන්‍ය තත්වයකදී නීති විරෝධී ජනරාශිය නැතිනම් අයුතු ජන රාශිය නොඑසේනම් නීත්‍යානුකූල නොවන රැස්වීමක් විසුරුවා හැරීම සඳහා හමුදාවන්ට මැදිහත්වීමක් කරන්න පුලුවන් අවස්ථා දෙකක් තිබෙනවා.
අ. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 95(iii) වගන්තිය
ආ. අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 96 වගන්තිය
මේ වගන්ති වල දක්වා තිබෙන ප්‍රතිපාදනයන්ට යටත්ව ත්‍රිවිධ හමුදාවට සාමකාමී නොවන රැස්වීම් විසුරුවා හරින්න අවශ්‍ය බලය යොදවන්නට හැකියාව තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 95(iii) වගන්තිය

මේ යටතේ යම් ප්‍රදේශයක් භාර මහේස්ත්‍රාත්වරයකුට,දිසාපතිවරයකුට හෝ පොලිස් අධිකාරී හෝ එම නිලයට ඉහළ නිලධාරයකුට විසින් නීත්‍යානුකූල නොවන රැස්වීමක් විසුරුවා හැරීමේ කටයුතු සඳහා හමුදාවක් කැඳවීම සඳහා බලය ලබාදී තිබෙනවා.එහිදී හමුදාවට අවශ්‍ය බලය යොදවා එම රැස්වීම විසුරුවා හැරීමටත්,එම් රැස්වීමේ සිටිමින් නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකරන අයවලුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට සහය වනු පිණිස යම් අත්තඩංගුවට ගැනීමක් සඳහා හැකියාවක් පවතිනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 96 වගන්තිය

ඒ වගේම යම් අවස්ථාවකදී මහේස්ත්‍රාත්,දිසාපති හෝ පොලිස් අධිකාරීවරයකු විසින් කැඳවීමක් නොමැති විටක වුවත්, ත්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලධාරියකු හට යම් ජනතා රැස්වීමක් නීතිවිරෝධී බව පෙනී යන්නේ නම් හෝ ඒ බවට විශ්වාසනීය තොරතුරක් පවතින්නේ නම්, එවන් නීති විරෝධී රැස්වීමක් විසුරුවා හැරීම සඳහා තමා යටතේ සිටින භට කණ්ඩායමක් සමඟ මැදිහත්වීමක් කරන්න නීතිමය අවසරය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 96 වන වගන්තිය ප්‍රකාර පවතිනවා.
එහිදී මහේස්ත්‍රාත්,දිසාපති හෝ පොලිස් අධිකාරී අතුරින් අයකු සම්බන්ධ කර ගැනීමට කටයුතු කලයුතු අතර ඔවුන් සම්බන්ධ කර ගැනීම අනිවාර්ය කර නැහැ.
මෙහිදී “නීති විරෝධී රැස්වීම” යන්න සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 138 වන වගන්තියේ දක්වා ඇති අර්ථය එලෙසින්ම යෙදෙනවා.

iv. දණ්ඩ නීති සංග්‍රහය

සාමාන්‍ය නීතිය පවතින අවස්ථාවකදී හමුදාව වෙත කැරලි කෝලහල මැඩලීම සහ නීති විරෝධී රැස්වීම් ආදිය විසුරුවා හැරීම සඳහා යම් මැදිහත්වීමක් කිරීමේ බලය දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්ති තුල විස්තීර්ණ “ආත්මාරක්ෂාවේ අයිතිය” යටතේ ලැබෙනවා.
එහිදී එක් එක් හමුදා සාමාජිකයා වෙත තනි තනිවත්, තම ඒකකය,කණ්ඩායමේ ආත්මාරක්ෂාව වගේම සමස්ත රාජ්‍යයේම ආත්මාරක්ෂාව යටතේ මේ අයිතිවාසිකම ක්‍රියාවේ යොදවන්න පුලුවන්.
ආත්මාරක්ෂාව උදෙසා පවත්නා අයිතිවාසිකම හමුදා සාමජිකයකු වීම නිසා විශේෂිත ලෙස සලකන්නේ නැති අතර සෑම පුරවැසියකු සතුවම පවත්නා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය, හමුදා සාමාජිකයකු බලය පාවිච්චි කල අවස්ථාවකදී එකී ක්‍රියාවට නීත්‍යානුකූලභාවයක් ලබා ගැනීම සඳහා විත්තිවාචකයක් ලෙස ද යොදා ගන්නවා.
හමුදා සාමජිකයකුට රාජකාරීමය වශයෙන් කල ක්‍රියාවක් සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ ගොනුවන යම් අපරාධ චෝදනාවකදී දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන මෙම නෛතික ප්‍රතිපාදනය අතිශයින්ම වැදගත් වනවා.

v. 1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනත

මහජන ජීවිත සහ දේපල ආරක්ෂාව සුරක්ෂිත කිරීමත් ,රට තුල නීතිය සහ සාමය පවත්වාගෙන යාම උදෙසාත් ත්‍රිවිධ හමුදා වෙත බලතල ලබාදීම සබැඳිව නීතිමය තත්වය සැලකීමේදී මහජන ආරක්ෂණ පනත ඉතා වැදගත්.
එම පනතේ 2 වන වගන්තිය ප්‍රකාර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාට රට තුල මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට සහ නීතිය සාමය ස්ථාපිත කිරීම උදෙසා වගේම අත්‍යාවශ්‍ය සේවා සම්පාදනය උදෙසා පනතේ 5 වන වගන්තිය ප්‍රකාර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමටත්, හදිසි නීතිය යටතේ මහජන ආරක්ෂණ පනතේ 2 වන කොටසේ සඳහන් කටයුතු පවත්වාගෙන යාම සඳහා හමුදාවන් කැඳවීමට හැකියාව තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම දින 14 කට වලංගු වන අතර එය වැඩිදුරටත් පවත්වාගෙන යාමට නම් පැණවු දින සිට දින 10 ක් තුල පාර්ලිමේන්තුව වෙත යොමුකර සරල බහුතරයකගේ අනුමැතිය ලබා ගතයුතු වනවා.ඒ වගේම දිගින් දිගටම හදිසි නීතිය දීර්ඝ කිරිීම මසකට වරක් පාර්ලිමේන්තුව වෙතින් හදිසි අවස්ථා විවාදයකින් පසුව සිදු කල යුතුයි.
ඒ වගේම හදිසි නීතිය යටතේ හමුදාවන් වෙත බලය ලබාදීම සඳහා හදිසි නීති රෙගුලාසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම ඉතා වැදගත්.
මක් නිසාද යත්; හදිසි නීතිය යටතේ හමුදාවන්ට මැදිහත්වීමක් කරන්න පුලුවන් කටයුතු සහ ආනුශංගික බලතල ලබා දෙන්නේ හදිසි නීති රෙගුලාසීන් තුලින් බැවිනි.ලංකාව තුල 1971 කැරැල්ල සමයේ වගේම 1988/89 සමයේත් සිවිල් අරගල හේතුවෙන් හමුදාව කැඳවීම සඳහා හදිසි නීතිය පණවා ඇති අතර තිස් වසරක් පැවති යුධ සමය පුරාවට වරින් වර හදිසි නීතිය දීර්ඝකාලීනව පවත්වාගෙන ගොස් තිබෙනවා.
මහජන ආරක්ෂණ පනත ප්‍රකාර හදිසි නීතිය පැණවීම සම්බන්ධයෙන් මෑතකාලීන අවස්ථාවක් ලෙස පාස්කු ප්‍රහාරයෙන් පසුව එවකට සිටි ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාව ප්‍රකාශ කොට රෙගුලාසින් නිවේදනය කිරීම දක්වන්න පුලුවන්.
නමුත් වර්තමානයේ රට තුල උද්ගතව ඇති වාතාවරණය හමුවේ වත්මන් ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී මහජන ආරක්ෂණ පනතේ 2 වන වගන්තිය යටතේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කලත්,හදිසි නීති රෙගුලාසීන් පණවාලීමට කටයුතු කලේ නැහැ.හදිසි නීති රෙගුලාසින් ප්‍රකාශ නොකල අවස්ථාවක හමුදාවන්ට සිදුකල හැකි මැදිහත් වීම අල්පය.

හදිසි නීතිය පැණවීමකින් තොරව මහජන ආරක්ෂණ පනත ප්‍රකාර හමුදාවන් ජනාධිපතිවරයාට කැඳවීමට හැකියාව ලබා දෙන තවත් අවස්ථාවක් එම පනතේ 12 වන වගන්තිය තුල විස්තර කරයි.
එහි 12(1) උප වගන්තිය අනුව මහජන ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමටත්, නීතිය හා සාමය පවත්වාගෙන යාමටත් පොලිසිය ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයා වෙත පෙනීයන්නේ නම්; එකී කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවන් කැඳවීම සඳහා ජනාධිපතිවරයාට බලය හිමිව තිබෙනවා.
එකී කැඳවීම ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් සිදුකල යුතු වනවා.වර්තමානයේ බලාත්මක නීතිමය තත්වය වන්නේ මෙකී මහජන ආරක්ෂණ පනතේ 12 වගන්තිය යටතේ ත්‍රිවිධ හමුදාවන් කැඳවීමයි.
අද වන විට බලාත්මක වන්නාවූ කැඳවීම 2022 මැයි මස 20 වන දිනැතිව පලවූ අංක 2280/39 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙනවා.ඒ අනුව මහජන් සාමය පවත්වාගෙන යාම සඳහා දේශීය ජල තීරය ද ඇතුලත්ව ලංකාවේ දිසා විසි පහම ආවරණය වන පරිදි 2022.05.22 දිනට බලාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවන් කැඳවා තිබෙනවා.

පුරවැසියා විසින් නොදැනුවත්කම නිසා හෝ දැනුවත්ව ඕනෑකමින්ම හමුදාව වෙත නේකවිධ අවලාද,අපහාස, උපහාස, ගැරහුම්, තාඩන පීඩන හමුදා සාමාජිකයන්ට එදිරිව ඔවුන් ඉදිරිපිටත්, ඉන් පරිබාහිරව ජනමාධ්‍ය තුලත් ඊටත් ඔබ්බෙන් සමාජ මාධ්‍ය හරහාත් කරනට හේතු වී ඇත්තේ,
මෙකී 1947අංක 25 දරණ මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය ප්‍රකාර සිදු කර ඇති කැඳවීම බවයි මගේ අදහස. මක් නිසාද යත්; උද්ඝෝෂකයන් සහ අරගලකරුවන් වගේම පුරවැසියන් අතුරින් බහුතරයක් පවා හිතන්නේ හමුදාවන් කිසිඳු නීතිමය බලයකින් තොරව පුද්ගල කොට්ඨාසයකගේ හෝ පාලකයන්ගේ අභිමතාර්ථ සහ අවශ්‍යතා උදෙසා පාරට බැස ඇති බවයි.
විශේෂයෙන්ම උගත් බුද්ධිමත් නීතීඥ ප්‍රජාව පවා හමුදාවන් කැඳවීමට අදාල නෛතික තත්වය ගැන කතා කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම පසකලා ජනතාව තුල හමුදාවන්ට එරෙහිව වැරදි මතයක් ගොඩ නගන්නටත්,හමුදාවන් කෙරෙහි පුරවැසියා තුල පවත්නා ප්‍රසාදය කඩතොලු කිරීමටත් කටයුතු කරන බව සමාජ මාධ්‍ය තුල ඔවුන් බොහෝ දෙනෙක් කරන කියන දේවල් තුලින් වගේම හමුදා නිල ඇඳුම සහ නිල ලාංඡන ආදිය සම්බන්ධ කරමින් ඔවුන් බෙදාහරින ඡායාරූප, කවි රචනා සහ සීපද ආදිය බලන විට පෙනී යයි.
————————————————————
මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය යටතේ හමුදාවන් කැඳවූ විට හමුදා සාමජිකයන් සතු බලතල
————————————————————
මහජන ජීවිත සහ දේපල ආරක්ෂාව සහ මහජම සාමය පවත්වාගෙන යාම සඳහා පොලිසිය ප්‍රමාණවත් නොව විට හමුදාව කැඳවූ අවස්ථවකදී හමුදා සාමජිකයකුට පොලිස් බලතල හිමිවන බව සරල පිළිගැනීමයි.
නමුත් එහිදී පොලිසිය වගේ රථ වාහන නඩු ගන්න, මත්ද්‍රව්‍ය වැටලීම කරන්න, ආයුධ හොයන්න පුද්ගලයෝ ජීප් එකේ එක්කන් යන්න, සොරකම් කරපු පොල් ගෙඩිය එක්ක මිනිස්සුන්ව උසාවි දාන වගේ ලංකාවේ පොලිසිය කරන රාජකාරී කිරීමේ හැකියාවක් සන්නද්ධ හමුදා සමාජිකයකුට ලැබෙන්නේ නෑ.
මහජන ආරක්ෂණ පනතේ 12(2) සහ 12(3)වගන්තීන් ප්‍රකාර මෙහිදී 1979 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ iv වන පරිච්ඡේදය හි විස්තර වන්න වූ 23 සිට 43 දක්වා වගන්තීන් හි සඳහන් අත්තඩංගුවට ගැනීමේ සහ සෝදිසි කිරීමේ බලතල හමුදා සාමජිකයකු වෙත ලැබෙන බවත්, නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ සඳහන් පොලිස් නිලධාරියකු සතු විමර්ශනය කිරීමේ බලය මෙහිදී හමුදා සාමාජිකයකු වෙත නොපවතින බවත් එහි සඳහන්.ඒ වගේම අත්තඩංගුවට ගත් පුද්ගලයන් හා දේපල හැකි විගස පොලිසිය වෙත භාර දිය යුතු බව එහි සඳහන්.
එනයින් බලන කල මහජන සාමය පවත්වාගෙන යාමටත්, මහජන ජීවිත සහ දේපල ආරක්ෂාවටත්, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමටත් බාධා ඇති කරන, ඒ වගේම ඕනෑම සංඥය හෝ සංඥය නොවන වරදක් කරන අයකු හෝ පිරිසක් සෝදිසි කිරීමත්,එවන් වරදක් කරන පුද්ගලයකුහෝ පිරිසක් රැඳී සිටින ස්ථානයක්, පරිශ්‍රයක්,වාහනයක්, යාත්‍රාවක් සෝදිසි කිරීමටත්, අවශ්‍ය නම් එවන් ස්ථානයක දොරගුළු කඩා ඇතුල් වී පරීක්ෂා කිරීමේ බලය මේ අවස්ථවේදී හමුදා සාමාජිකයකු වෙත ලැබෙනවා.
ඒවගේම නීති විරෝධී රැස්වීමක් විසුරුවා හැරීමට වගේම එහු සිටින පුද්ගලයන් සහ ඉන් කොටසක් හෝ සෝදිසි කිරීමට බලය ලැබෙනවා.
නීති විරෝධී රැස්වීම් විසුරුවා හැරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 95 වගන්තියේ සඳහන් පොලිස් පරීක්ෂක තනතුරේ නිලධරයකු සතු බලය යුධ ගුවන් හමුදාවන්හි සැරයන් නිලයේ සහ නාවික හමුදාවේ සුළු නිලධාරී නිලයේ සාමජිකයකු දක්වා ලැබෙන බව සඳහන්.
ඒ වගේම එකී නිලයේ හමුදා සාමජිකයකුට පීඩාකාරී ආයුධ පනතේ, තුවක්කු පනතේ සහ පුපුරණ ද්‍රව්‍ය පනතේ සඳහන් පීඩාකාරී ආයුධ, තුවක්කු සහ පුපුරණ ද්‍රවය ඉවත් කිරීමට නියෝග කිරීමට වගේම ලඟ තබා ගත්තවුන් සෝදිසි කිරීමට සහ අත්තඩංගුවට ගැනීමට බලය හිමිවනවා.
ඉහත කී ඕනෑම අවස්ථාවකදී සෝදිසි කල පුද්ගලයන් සහ දේපල අත්තඩංගුවට ගැනීමටත්,නීතිමය කටයුතු පවත්වාගෙන යාම සඳහා උපරිම වශයෙන් පැය 24 ක කාලයක් රඳවාතබා ගත හැකි බව නීතිය තුල විස්තර වනවා.
ඒ වගේම සෝදිසි කිරීමට, අත්තඩංගුවට ගැනීමට එරෙහි වන පුද්ගලයන් සම්බන්ධයෙන් වගේම නීතිවිරෝධී රැස්වීමක සාමජිකයන් විසුරුවා හැරීමසඳහා සමානුපාතික අවශ්‍ය බලය යොදවන්න හමුදාවට නෛතික බලය තිබෙනවා. මහජන සාමය ආරක්ෂා කරණු වස් කැරලි මර්ධනය,උද්ඝෝෂණ ආදියහිදීත් සමානුපාතික අවශ්‍ය බලය යෙදවීමේ නීතිමය හැකියාව හමුදාව සතුව තිබෙනවා.
මේ සමානුපාතික අවශ්‍ය බලය අවස්ථානුකූල සහ සිද්ධිමය කාරණා වගේම ක්‍රියාවේ බරපතල සහ හානියේ ප්‍රමාණයට සාපේක්ෂව මාරාන්තික බලය දක්වා යෙදවීමට හමුදා සාමාජිකයකුට බලය මේ අවස්ථාවේ නීත්‍යානුකූලව තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවන් මේ වෙලාවේ කරන්නේ ඔවුන් වෙත නීත්‍යානුකූලව පැවරී ඇති රාජකාරීමය කටයුතු මිසක වෙනත් කිසිඳු වගකීමක් නෙවේ.ඒ ඔවුන් සතුව පවත්නා මහජන ආරක්ෂාව ස්ථාපිත කිරීම විෂයෙහි පවත්නා නීත්‍යානුකූල බැඳීමයි.
අරගල භූමියේ,අර ගම මේ ගම, එහි ශාඛාවන්, ඩීසල් පෝලිම,ගෑස් පෝලිම ඕනෑම තැනක ඔබට පුරවැසියකු විලස ඉන්නට අයිතියක් ඇත.ඒ සාමකාමී පුරවැසියකු ලෙසින් පමණි.
ඒ වගේම තමන් කැමති දේශපාලන පක්ෂයකට කඩේ යන්නටත්,අනෙකාගේ මතය විවේචනය කරනටත්, නිර්පාක්ෂික ලෙස බණ කියන්නටත් පුරවැසියකු විලස ඔබට අයිතිය ඇත.ඒ ඔබ අත පය අනෙකාගේ නාසයේ නොවදිනාතාක් පමණි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ iii වන පරිච්ඡේදයේ 10 සිට 14 දක්වා ව්‍යවස්ථාවන් හි සඳහන් මූලික අයිතිවාසිකම් එහි 15(7)අනු ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති බව දැන ගෙන ජීවත් වීම අගනේය.

සටහන – ප්‍රබුද්ධ දහනායක

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම