මෙම ලිපිය ලියන්නේ නීතිය ගැන දැ…

, , Leave a comment

මෙම ලිපිය ලියන්නේ නීතිය ගැන දැනුම වර්ධනය කිරීම අරමුණ පෙරදැරිව මා විසින් පවත්වාගෙන යන LAW ADVICE පිටුව වෙනුවෙන්. එය “මීරිගම අපි” සමග ඉන්න මගේ ග්‍රාමවාසී ලබැඳියන් සමගින් කතා කල යුතුයැයි හැඟුණු නිසාවෙන් මෙලෙස අලවා තබමි.
වෙළඳ දැන්වීම් කියවාගෙන යන අතරතුර මෙය කියවා “මීරිගම” ගැමියකු විලසින් ඔබ සිතුවිල්ලට නැගුණු යමක් සටහන් කරන්නේ නම් අගනේය.
මූලික මිනිස් අවශ්‍යතා ලෙස අප ඉගෙනගත් ආහාර,ඇඳුම්,නිවාස, සෞඛ්‍ය අවැසිකම් සලසා දෙන්නට නොහැකිවීම අදවන විට අප රට මුහුණ දී ඇති මූලික ගැටළුවක්. එයට විසඳුම් දී….
මිනිස්සුන්ට මාහැඟි මෙහෙවරක් කරන්න සමූපකාර ව්‍යාපාරය හරහා පවත්නා හැකියාව කතා කරන්න හිතුනු නිසා මෙම ලිපි පෙල ලියන්නේ.ඒ වගේම පොඩි මිනිස්සුන්ට මෙහෙවරක් කරන්නට සමත්කම් පිරුණු මෙම ව්‍යාපාරයේ කඩා වැටීම ගැනත් මෙහි අවසානයේ මතුපිටින් කතා කෙරේ.
සමුපකාර ක්‍රමයේ වැටීමේ සිට නැවත නැගිටීමට පවත්නා අවස්ථා වගේම නූතන දැනුම,තාක්ෂණය සහ වෙළෙඳ පළ අවස්ථා සමුපකාර ක්‍රමයේ ප්‍රතිසංවිධානය උදෙසා යොදාගන්නට පවත්නා හැකියාව පිළිබඳ ඉදිරි ලිපි මගින් කතා කරමු.
මේ එහි පළමු පියවරයි.

ලාංකීය ජනයාට සෙත සැලසූ සමූපකාර ව්‍යාපාරය ඇරඹුම සහ ඉතිහාසය

වර්තමානයේ “සමූපකාරය” යන වචනය අපට නිතර අසන්නට නොලැබුණත් මීට දශක 4කට පමණ සමූපකාරය ඉතාමත්ම ජනප්‍රිය වචනයක් බවට පත්ව තිබුණා. 1970-77 කාල සමයේ මෙරට භාණ්ඩ හිඟයක් ඇති වුණු අවස්ථාවේ විවිධකාරයේ බඩුබාහිරාදිය මිල දී ගැනීම සඳහා සමූපකාර පෝලිම්වල සිටි බව අපගේ වැඩිහිටියන් අදටත් සිහිපත් කරනවා. එලෙස එක් කාල සමයක සමූපකාරය ලාංකිකයන්ගේ අවශ්‍යතා රැසක් සපුරාලන ස්ථානයක් බවට පත්ව තිබුණත් වර්තමානය වන විට එය ජනතාවගෙන් දුරස් වී තිබෙනවා.

සමූපකාර ව්‍යාපාරයේ ආරම්භය

1904 වසරේ ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ලංකා කෘෂිකාර්මික සංගමය පිහිටවනු ලැබුවා. එම සංගමය ආරම්භ කර වසර 2ක් පමණ ගත වන විට ග්‍රාමීය ණය ක්‍රමයක අවශ්‍යතාවය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ අනුව 1906 වසරේ දී කෘෂිකාර්මික සංගමයේ දුම්බර ශාඛාව මඟින් ණය දෙන සමිතියක් ආරම්භ කරනු ලැබුවේ තෙල්දෙණියේ දී යි. එය ලංකාවේ ණය දෙන සමූපකාර ක්‍රමයේ ආරම්භය ලෙසින් සටහන් වනවා.මේ ඔස්සේ එයට නෛතික වලංගුභාවයක් ලබාදෙන්නට අඥා පනතක් ලෙස සම්මත කරගන්නට පියවර ගැනෙනවා.
1911 අංක 7 දරණ සමූපකාර සමිති ආඥා පනත එම නීත්‍යානුකූලත්වය ඇති කරනවා.

එලෙස ආරම්භ කළ ග්‍රාමීය ණය ක්‍රමයේ අරමුණ වුණේ සීමිත ආදායමක් ලබාගන්නා කම්කරුවන්, ගොවීන් වැනි පාර්ශවයන් අතර සකසුරුවම්කම, ස්වොත්සාහය, සහ සහයෝගිතාවය වැනි ගුණාංගයන් වර්ධනය කිරීම යි. 1906 වසරෙන් පසුව ක්‍රමයෙන් සමූපකාර සමිති සංඛ්‍යාව වර්ධනය වුණු නිසා එම සමිති අධීක්ෂණය කරමින් නිසි මඟ පෙන්වීමක් ලබා දීම සඳහා නීතිරීති මාලාවක් අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1911 අංක 7 දරණ සමූපකාර සමිති ආඥා පනත ලියාපදිංචි කරනු ලැබුවා. 1912 වසරේ නොවැම්බර් මාසයේ දී එවකට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ පොන්නම්බලම් අරුණාචලම් අතින් මුල්ම වරට සමූපකාර සමිතියක් ලියාපදිංචි කිරීම සිදු වුණා. ඉන් පසුව රාජ්‍ය මැදිහත්වීම යටතේ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් නම් තනතුර ඇති වුණා. 1930 වසර වන තුරුම එම තනතුර සඳහා පත්කරන ලද්දේ එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා යි.

සමූපකාර ව්‍යාපාරය ප්‍රචලිත වීම.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වුණු සමූපකාර සමිතිවල සංවිධාන කටයුතු සිදුකිරීම සඳහා ගම්මුලාදෑනීන්ගේ සහාය ලැබුණා. ඒ අනුව ගම්මුලාදෑනි කොට්ඨාසයකට සමිතිය බැගින් පිහිටුවාගැනීමට කටයුතු කළා. 1916 වසරේ දී ආරම්භ වුණු ප්‍රාදේශිය ණය සහ සංවර්ධන අරමුදල මඟින් සමිතිවලට ණය මුදල් සපයනු ලැබුවා. සමූපකාර ක්‍රමයේ මූලික අදියරේ දී ආරම්භ වුණු ණය දෙන සමිති මඟින් පසුව නිෂ්පාදන අවශ්‍යතා සැපයීම ද ආරම්භ කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1921 වසරේ දී ද්විතීය සමිති ලියාපදිංචි කිරීමට හැකිවන අයුරින් සමූපකාර ආඥා පනත සංශෝධනය කරනු ලැබුවා. 1911-1926 කාල සමය තුළ සමූපකාර ව්‍යාපාරයේ ප්‍රගතිය සතුටුදායක මට්ටමක පැවති බව එවකට කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා නිකුත් කළ පාලන වාර්තාවල සඳහන් වී තිබෙනවා. එසේම එම අවධිය වන විට ක්‍රියාත්මක වුණු සමිති 315න් 290ක්ම කෘෂිකාර්මික සමිති වුණා. එලෙස සාර්ථකව ඉදිරියට ගිය සමූපකාර ව්‍යාපාරය තවත් ශක්තිමත් කිරීම උදෙසා එච්. කේ. කැම්බල් සම රෙජිස්ට්‍රාර් තනතුරට පත්කරන ලද්දේ 1926 වසරේ දී යි. ඉන් පසුව සමිතිවලට ණය මුදල් නිර්දේශ කිරීම සිදු වුණේ කැම්බල් යටතේ යි. ඔහු එම තනතුරට පත්වීමෙන් වසර කිහිපයකට පසුව සමූපකාර ව්‍යාපාරය වඩාත් ස්ථාවර වී තවත් පුළුල් වන ආකාරය දක්නට ලැබුණා.

ලංකේය සමූපකාර ක්‍රමවේදය

ලංකා සමූපකාර ව්‍යාපාරයේ අනිත් රටවල්වල සමූපකාර ව්‍යාපාරවල දක්නට නොලැබුණු විශේෂ ලක්ෂණයක් දක්නට ලැබුණා. විෂය ක්ෂේත්‍රයන් ගණනාවකට ව්‍යාප්ත වී ඒ වෙනුවෙන් විවිධ සමිති බිහිවීම එම විශේෂ ලක්ෂණය වුණා. එලෙස ලංකාව තුළ බිහිවුණු විශේෂ සමිති කිහිපයක නම් පහත සඳහන් වනවා.

1) මින්නේරිය වී අලෙවි සමිතිය

2) යාපන මලයාලම් දුම්කොළ සමිතිය

3) මූලායි සමූපකාර රෝහල් සමිතිය

සමූපකාර දෙපාර්තමේන්තුව ස්ථාපනය වෙයි
1930 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සමූපකාර දෙපාර්තමේන්තුව ස්ථාපනය කරනු ලැබුවා. එච්. කේ. කැම්බල් එම දෙපාර්තමේන්තුවේ මුල්ම සමූපකාර රෙජිස්ට්‍රාර්වරයා වශයෙන් පත්කරනු ලැබුවා. ඉන් අනතුරුව කැම්බල් සමූපකාර ව්‍යාපාරය තවත් දියුණු කිරීමට උත්සාහ කරනු ලැබුවා. එසේම ඔහුගෙන් පසුව රෙජිස්ට්‍රාර් තනතුරට පත්වුණු එච්. කැල්වට් නම් නිලධාරියාත් සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළා. ඔහු එම අවධියේ දී සමූපකාර නීතිය සහ ප්‍රතිපත්ති නමින් ග්‍රන්ථයක් ද ලියනු ලැබුවා.

විශේෂ සමුපකාර සමිති කිහිපයක ආරම්භය

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩපිළිවෙළක් ලෙසින් ආරම්භ වුණු කඩ සමිති ව්‍යාපාරය ලංකා සමූපකාර ව්‍යාපාරයේ ඉතා වැදගත් ඉදිරි පියවරක් වුණා. දෙවන ලෝක යුධ සමයේ ආරම්භ වුණු මෙම වැඩපිළිවෙළ නිසා ජනතාවට සහන රැසක් හිමි වුණා. ඉන් අනතුරුව 1943 වසරේ දී සමූපකාර තොග වෙළඳ ආයතනය ආරම්භ කළේ සමූපකාර සමිතිවලට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය තොග වශයෙන් ලබා දීමේ අරමුණ ඇතිව යි. 1942 වසර වන විට කෘෂි නිෂ්පාදන සහ අලෙවි සමූපකාර සමිති 11ක් රට තුළ පිහිටුවා තිබුණා. ඉන් වඩාත් ක්‍රියාකාරී සමිති බවට පත්ව තිබුණේ මින්නේරිය වී අලෙවි සමිතිය සහ යාපන මලයාලම් දුම්කොළ සමිතිය යන සමිති දෙක යි. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ ළූණු සහ මිරිස් මිල දී ගැනීම සඳහා සමිති 5ක් පිහිටුවා තිබුණා. ඉහත සමිතිවලට අමතරව පහත සඳහන් ආකාරයේ විශේෂ සමිති එම යුගයේ දී ආරම්භ වුණා.

1) ඌව පළාතේ කැප්පෙටිපොළ එළවළු අලෙවි සමිතිය

2) ගොවි ද්‍රව්‍ය නිපදවීමේ සහ අලෙවි කිරීමේ සමිති

3) ධීවර සමිති

4) රෙදි වියන්නන්ගේ සමිති

5) වෙනත් කර්මාන්ත සමිති

එම අවධියේ දී සමූපකාර ව්‍යාපාරයේ කටයුතු වැඩි දියුණු කිරීමට සහ විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධීකරණය සඳහා දිසා සංගම් පිහිටවනු ලැබුවා. එලෙස පිහිටවනු ලැබූ සංගම් අතුරින් උතුරු දිසා සංගමය වඩාත් කාර්යක්ෂම වුණා. සති 2කට වරක් පුවත්පතක් නිකුත් කිරීමත් පුහුණු පාඨමාලා පැවැත්වීමත් එම සංගමය විසින් සිදුකළ ආකර්ෂණීය වැඩසටහන් අතරට අයත් වුණා.

විවිධ සේවා සමූපකාර සමිති බිහිවීම

1957 වසරේ දී සමූපකාර කඩ සමිති සහ වෙනත් අරමුණු වෙනුවෙන් පිහිටවා තිබුණු සමිති ඒකාබද්ධ කරමින් විවිධ සේවා සමූපකාර සමිති පිහිටවනු ලැබුවා. එලෙස ආරම්භ කළ විවිධ සේවා සමූපකාර සමිති රැසක් අදටත් රට පුරා දක්නට ලැබෙනවා. එදා පියවරෙන් පියවර ඉදිරියට ගිය සමූපකාර ව්‍යාපාරයට නව ජවයක් ලැබුණේ 1960 වසරේ ජූලි මාසයේ පත්වුණු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සමූපකාර අමාත්‍යවරයා ලෙසින් ටී.බී. ඉලංගරත්න පත්වීමත් සමග යි.

විවිධ සේවා සමූපකාර සමිතියක්

මහජන බැංකුව ආරම්භ වීම සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් වීමට හේතුවක් විය.
1961 වසරේ ටී. බී. ඉලංගරත්න සහ පිලිප් ගුණවර්ධන යන දේශපාලඥයන්ගේ මැදිහත්වීමෙන් මහජන බැංකුව ආරම්භ වුණා. එහි දී මහජන බැංකු පනත අනුව බැංකුවට පැවරී තිබුණු කාර්යයන් අතර සමූපකාර සමිතිවලට, පිළිගත් සමිතිවලට, සහ ගොවිකාරක සභාවලට මුදල් හා වෙනත් ආධාර සැපයීමෙන් ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා කෘෂිකාර්මික ණය ලබාගැනීම සංවර්ධනය කිරීම වැනි දේවල් අඩංගු වුණා. ඒ අනුව මහජන බැංකුව 1961 ජූලි මස 01 වැනි දින සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ විසුරුවන ලද සමූපකාර ෆෙඩරල් බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගනිමින්. එවකට සමූපකාර ව්‍යාපාරයේ පියා යන විරුදාවලිය ලබා තිබුණු වින්සන්ට් සුභසිංහ මහජන බැංකුවේ මුල්ම සභාපතිවරයා ලෙසින් පත්වුණා.

සමූපකාර සමිති සහ ජනතාව

60 දශකය තුළ සමූපකාර ව්‍යාපාරය ඉතාමත් සීඝ්‍ර දියුණුවක් ලැබුවා. ඉන් අනතුරුව 1970 වසරේ දී බලයට පත්වුණු සමගි පෙරමුණු රජය සමූපකාර සමිති ප්‍රතිසංවිධානය කළේ එම අවධියේ තිබුණු ආර්ථික සහ ව්‍යාපාරික රටාවට ගැළපෙන ආකාරයට යි. ඒ යටතේ සමිති බල ප්‍රදේශය ව්‍යාප්ත කිරීමත්, ශක්තිමත් ආර්ථික ඒකකයක් ලෙසින් ස්ථාපනය කිරීමත් සිදු වුණා. විශේෂයෙන්ම එම අවධියේ තිබුණු භාණ්ඩ හිඟය නිසා සමහර භාණ්ඩ බෙදාහදා සිදුකරනු ලැබුවේ සමූපකාර හරහා යි. එම නිසාම 70 දශකයේ මැද භාගය වන විට සමූපකාර සමිති ජනතාවට වඩාත් සමීප වී තිබුණා.

සමූපකාර ව්‍යාපාරයේ පරිහාණිය

විවිධ සේවා සමූපකාර සමිති ආරම්භ වුණු මුල් යුගයේ අදාළ ප්‍රදේශයේම ජීවත් වුණු පුද්ගලයන් ඒවායේ නිලතල දරනු ලැබුවා. එහි දී ඔවුන්ට ඒ සඳහා කිසිදු ගෙවීමක් සිදු වුණේ නැහැ. එලෙස පත් කළ නිළධාරීන් ගරු තනතුරක් සේ සලකා එහි රාජකාරි කරනු ලැබුවා.
නමුත් පසුකලෙක ඉහත ක්‍රමය වෙනස් වී එම තනතුරුවලට රජයෙන් වැටුප් ලබන නිළධාරින් පත් වුණා. එහි දී සමූපකාර ක්ෂේත්‍රයේ රැකියා දේශපාලන හිතවත්කම් මත ලබාදීමේ ක්‍රමයක් කරළියට පැමිණීමත් සමගම සමූපකාර ව්‍යාපාරයේ පරිහානිය ආරම්භ වුණා.
ඒ අනුව සමූපකාර සමිතිවල කළමනාකරණය නිසි පරිදි සිදු නොවීම නිසා පාඩු ලබන තත්ත්වයක් ඇති වුණා.
1977 වසරේ දී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. ඉන් පසුව ඇති වුණු තරගකාරී වෙළඳපොළ ක්‍රමයට මුහුණදීමට සමූපකාර ව්‍යාපාරයට හැකි වුණේ නැහැ.
එලෙස ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් තිබුණු සමූපකාර ව්‍යාපාරය දැඩි ලෙස කඩාවැටීමකට ලක් වුණේ 1989 වසරේ දී එය පළාත් සභා විෂයක් බවට පත්කිරීමෙන් පසුව යි.
ඉන් පසුව යම් කාලයක් ගතවන විට සමූපකාර සමිති කිසිදු දැක්මක් නොමැති, අකාර්යක්ෂම, ප්‍රාදේශිය දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් මත පාලනය වන ජාලයක් බවට පත්වුණා.
වර්තමානය වන විට සමූපකාරය සහ ජනතාව අතර දුරස්බවක් ඇති වී තිබෙනවා. තවමත් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සමූපකාර සමිති සමග ගණුදෙනු කළත් මීට දශක කිහිපයකට පෙර සමූපකාරයෙන් ඔවුන්ට ලැබුණු කාර්යක්ෂම සේවය යළි නොලැබෙනු ඇති.
මෙවන් මාහැඟි මෙහෙවරක් පොඩි මිනිහාට කරන්න සමර්ථ වූ අපූර්ව ව්‍යාපාරයක් වූ සමුපකාර ක්‍රමය කඩා වැටුනා නෙවේ.පාලකයන් විසින් චේතාන්විතව කඩා වැට්ටුවා යැයි මෑතකාලීන ඉතිහාසය විචක්ෂණශීලීව බලන කල මට පෙනේ.
මක්නිසාද යත්;
1979 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම හරහා ගොඩ නැගුනු දේශපාලන සංස්කෘතියේ අනුගාමික ජනතා නියෝජිතයන්ට ජනතා පරමාධිපත්‍යය කූඨ ලෙස සොරා ගෙන මැතිසභයේ අසුන් පමුණුවනු වස් අවැසි මූල්‍ය ශක්තිය ලබා දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාවයි.
ඒ නිසාවෙන් ජනතා නියෝජිතයන් වක්‍රාකාරව ව්‍යාපාරිකයන්ගේ ඔඩොක්කු කුක්කන් බවට පත්වේ.
එබැවින් තමන්ට බලය ලබාගන්න උදව් කල ව්‍යාපාරික හිතවාදීන්ගේ සාක්කු පුරවන්නට නම් සමුපකාර ක්‍රමය වගේ සාධනීය දේවල් කඩා වැටෙන්නට හැරීම පාලකයන්ගේ යුටුකම් ඉටුකිරීමකි.
සමුපකාර ක්‍රමයට පණ දෙන්නට නූතන ප්‍රවේශයක් ලෙසින් මේ ගැන ඉදිරි ලිපි මගින් කතා කරමු.
සංවාදයට විවෘතයි

– ප්‍රබුද්ධ –

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම