වර්තමානයේ මහජනතාව විසින් විටින…

, , Leave a comment

වර්තමානයේ මහජනතාව විසින් විටින් විට ඇතිකරන පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කරනා සිදුවීම් සහ බීතිය අතට ගෙන කරනා ක්‍රියාකාරකම් වල වැඩිවීමක් දැකිය හැකි නිසාත්,ඒ වගේම ඒ කටයුතු වලදී නීතිය ක්‍රියාත්මක කරන ආරක්ෂක අංශයන්හි කටයුතු වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීමට ඇතැම් උදවිය උත්සහ කරන ස්වරූපයක් දුටුව නිසාත්, මේ ගැන නීතිමය සහ සමාජීය ලෙස දකිමින් යමක් ලියන්න හිතුනා.

රටේ මහජන ආරක්ෂාව,නීතිය හා සාමය ස්ථාපිත කිරීම උදෙසා හදිසි නීතිය පැණවීමකින් තොරව 1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනත ප්‍රකාර හමුදාවන් කැඳවීමට හැකියාව ජනාධිපතිවරයාට ලබා දෙන තවත් අවස්ථාවක් එම පනතේ 12 වන වගන්තිය තුල විස්තර කර තිබෙනවා.
එහි 12(1) උප වගන්තිය අනුව මහජන ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමටත්, නීතිය හා සාමය පවත්වාගෙන යාමටත් පොලිසිය ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයා වෙත පෙනීයන්නේ නම්;
එකී කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවන් කැඳවීම සඳහා ජනාධිපතිවරයාට බලය හිමිව තිබෙනවා.
එකී කැඳවීම ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් සිදුකල යුතු වනවා.
වර්තමානයේ බලාත්මක නීතිමය තත්වය වන්නේ මෙකී මහජන ආරක්ෂණ පනතේ 12 වගන්තිය යටතේ ත්‍රිවිධ හමුදාවන් කැඳවීමයි.
අද වන විට බලාත්මක වන්නාවූ කැඳවීම 2022 මැයි මස 20 වන දිනැතිව පලවූ අංක 2280/39 දරණ රජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙනවා.ඒ අනුව මහජන් සාමය පවත්වාගෙන යාම සඳහා දේශීය ජල තීරය ද ඇතුලත්ව ලංකාවේ දිසා විසි පහම ආවරණය වන පරිදි 2022.05.22 දිනට බලාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවන් කැඳවා තිබෙනවා.
මෙකී 1947අංක 25 දරණ මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය ප්‍රකාර සිදු කර ඇති කැඳවීම පිළිබඳ රටේ පුරවැසියන්ගෙන් බහුතරයක් දනුම්වත් නැහැ.
උද්ඝෝෂකයන් සහ අරගලකරුවන් වගේම පුරවැසියන් අතුරින් බහුතරයක් පවා හිතන්නේ හමුදාවන් කිසිඳු නීතිමය බලයකින් තොරව ‍යම් පුද්ගල කොට්ඨාසයකගේ හෝ පාලකයන්ගේ අභිමතාර්ථ සහ අවශ්‍යතා ඉටුකිරීම උදෙසා පාරට බැස ඇති බවයි.
විශේෂයෙන්ම උගත් බුද්ධිමත් නීතීඥ ප්‍රජාව පවා හමුදාවන් කැඳවීමට අදාල නෛතික තත්වය ගැන කතා කරනු දැකිය නොහැකියි. ඔවුන් තුල පවා ත්‍රිවිධ හමුදාවන් රාජකාරි සඳහා කැඳවීමට අදාල වන්නාවූ නෛතික තත්වයන් පිළිබඳ හරි වැටහීමක් නැති හැඩක් තමා දිස වන්නේ.
ඔවුන් එබැවින් එකී නීතිමය තත්වය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම පසකලා ජනතාව තුල හමුදාවන්ට එරෙහිව වැරදි මතයක් ගොඩ නගන්නටත්,හමුදාවන් කෙරෙහි පුරවැසියා තුල පවත්නා ප්‍රසාදය කඩතොලු කිරීමටත් කටයුතු කරන බව සමාජ මාධ්‍ය තුල ඔවුන් බොහෝ දෙනෙක් කරන කියන දේවල් තුලින් වගේම හමුදා නිල ඇඳුම සහ නිල ලාංඡන ආදිය සම්බන්ධ කරමින් ඔවුන් බෙදාහරින ඡායාරූප, කවි රචනා සහ සීපද ආදිය සලකා බලන විට පෙනී යනවා.
මේ සියල්ල එක්ක අද සටහන් තබන්නේ 1947 අංක 25 දරණ මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය ප්‍රකාර රටේ මහජන ආරක්ෂාව, දේපල ආරක්ෂාව සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාවන් කැඳවා ඇති අවස්ථාවක ඔවුන් වෙත නීතියට අනුකූලව හිමිබන්නාවූ බලතල ගැනයි.
ඒ ගැන දැන සිටීම සමස්ථ පුරවැසියාටම වැදගත් වේවි.
මන්ද යත්;
අද වන විට මේ 12 වන වගන්තිය යටතේ කැඳවීමක් හමුදාවන් වෙත කර තිබෙන නිසා.
————————————————————
මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය යටතේ හමුදාවන් කැඳවූ විට හමුදා සාමජිකයන් සතු බලතල
————————————————————
මහජන ජීවිත සහ දේපල ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පොලිසිය ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයාට හැඟී යන්නේ නම්,
එවිට හමුදාවන් යම් ප්‍රදේශයක් සඳහා හෝ මුළු දිවයින පුරාවටම කැඳවන්න මේ මහජන ආරක්ෂණ පනතේ 12(1) වන වගන්තිය යටතේ හැකියාව ලැබෙනවා.
එලෙස හමුදාවන් කැඳවූ අවස්ථවකදී හමුදා සාමජිකයකුට පොලිස් බලතල හිමිවන බව සරල පිළිගැනීමයි.
නමුත් එහිදී පොලිසිය වගේ රථ වාහන නඩු ගන්න, මත්ද්‍රව්‍ය වැටලීම කරන්න,ආයුධ හොයන්න පුද්ගලයෝ ජීප් එකේ එක්කන් යන්න, සොරකම් කරපු පොල් ගෙඩිය එක්ක මිනිස්සුන්ව උසාවි දාන්න වගේ ලංකාවේ පොලිසිය කරන සියලු රාජකාරී කටයුතු සිදුකිරීමේ හැකියාවක් සන්නද්ධ හමුදා සමාජිකයකුට ලැබෙන්නේ නෑ.
මහජන ආරක්ෂණ පනතේ 12(2) සහ 12(3)වගන්තීන් ප්‍රකාර මෙහිදී 1979 අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ iv වන පරිච්ඡේදය හි විස්තර වන්න වූ 23 සිට 43 දක්වා වගන්තීන් හි සඳහන් අත්තඩංගුවට ගැනීමේ සහ සෝදිසි කිරීමේ බලතල හමුදා සාමාජිකයකු වෙත ලැබෙන බව සඳහන් වනවා.
නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ සඳහන් පොලිස් නිලධාරියකු සතු විමර්ශනය කිරීමේ බලය මෙහිදී හමුදා සාමාජිකයකු වෙත නොපවතින බව එහි වැඩිදුරටත් සඳහන් වනවා.
ඒ වගේම අත්තඩංගුවට ගත් පුද්ගලයන් හා දේපල හැකි විගස පොලිසිය වෙත භාර දිය යුතු බවත් එකී වගන්තීන් හි සඳහන් වනවා.
එනයින් බලන කල මහජන සාමය පවත්වාගෙන යාමටත්, මහජන ජීවිත සහ දේපල ආරක්ෂාවටත්, අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමටත් බාධා ඇති කරන යම් ක්‍රියාවක නිරත වන අයකු වගේම එකී කටයුතු විෂයෙහි බාධා කරන,එවන් ක්‍රියාවකට අනුබල දෙන, තැහ්කරන හෝ කුමන්ත්‍රණය කරන යමෙකු වගේම,
ඕනෑම සංඥය හෝ සංඥය නොවන වරදක් කරන, එවන් වරදකට අනුබල දෙන, තැත් කරන යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් සෝදිසි කිරීමටත්,
එවන් වරදක් කරන පුද්ගලයකු හෝ පිරිසක් රැඳී සිටින ස්ථානයක්, පරිශ්‍රයක්,වාහනයක්, යාත්‍රාවක් සෝදිසි කිරීමටත්, අවශ්‍ය නම් වසා ඇති එවන් ස්ථානයක දොරගුළු කඩා ඇතුල් වී පරීක්ෂා කිරීමේ බලය මේ අවස්ථවේදී හමුදා සාමාජිකයකු වෙත ලැබෙනවා.
ඒවගේම නීති විරෝධී රැස්වීමක් විසුරුවා හැරීමට වගේම එහි සිටින පුද්ගලයන් සහ ඉන් කොටසක් හෝ කණ්ඩායමක් සෝදිසි කිරීමට බලය ලැබෙනවා.
නීති විරෝධී රැස්වීම් විසුරුවා හැරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 95 වගන්තියේ සඳහන් පොලිස් පරීක්ෂක තනතුරේ නිලධරයකු සතු බලය යුධ සහ ගුවන් හමුදාවන් හි සැරයන් නිලයේ සහ නාවික හමුදාවේ සුළු නිලධාරී නිලයේ සාමජිකයකු දක්වා ලැබෙන බව සඳහන් අතර එලෙස කටයුතු කිරීමට නීත්‍යානුකූලව බලය හිමි වනවා.
ඒ වගේම එකී නිලයේ හමුදා සාමජිකයකුට පීඩාකාරී ආයුධ පනතේ, තුවක්කු පනතේ සහ පුපුරණ ද්‍රව්‍ය පනතේ සඳහන් පීඩාකාරී ආයුධ, තුවක්කු සහ පුපුරණ ද්‍රවය ඉවත් කිරීමට නියෝග කිරීමට වගේම ලඟ තබා ගත්තවුන් සෝදිසි කිරීමට සහ අත්තඩංගුවට ගැනීමට බලය හිමිවනවා.
ඉහත කී ඕනෑම අවස්ථාවකදී සෝදිසි කල පුද්ගලයන් සහ දේපල අත්තඩංගුවට ගැනීමටත්,නීතිමය කටයුතු පවත්වාගෙන යාම සඳහා උපරිම වශයෙන් පැය 24 ක කාලයක් රඳවාතබා ගත හැකි බව නීතිය තුල විස්තර වනවා.
ඒ වගේම සෝදිසි කිරීමට, අත්තඩංගුවට ගැනීමට එරෙහි වන පුද්ගලයන් සම්බන්ධයෙන් වගේම නීතිවිරෝධී රැස්වීමක සාමජිකයන් විසුරුවා හැරීම සඳහා සමානුපාතික අවශ්‍ය බලය යොදවන්න හමුදාවට නෛතික බලය තිබෙනවා.
මහජන සාමය ආරක්ෂා කරනු වස් මහජන කැරලි මර්ධනය, උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා මැදිහත්වීමට වගේම එහිදී එම කටයුතු උදෙසා යම් බලයක් යෙදවිය යුතු බවට පෙබී යන්නේ නම්;
කැරලිකරුවන්ගේ හෝ නීත්‍යානුකූල නොවන් රැස්වීමේ සෑමාජිකයන්ගේ ක්‍රියාවන් වලකාලීමට සමානුපාතික අවශ්‍ය බලය යෙදවීමට නීතිමය හැකියාව හමුදාව සතුව පවතිනවා.
මේ සමානුපාතික අවශ්‍ය බලය අවස්ථානුකූල සහ සිද්ධිමය කාරණා වගේම නීතිවිරෝධී රැස්වීමේ සාමාජිකයන්ගේ හෝ කැරැලිකරුවන්ගේ සතුරු ක්‍රියාවේ බරපතල ස්වභාවය සහ ඒ තුලින් මහජන ජීවිත,දේපල වෙත සිදුවිය හැකි හානියේ ප්‍රමාණයට සාපේක්ෂවත් වෙනස් වනවා.
ඒ වගේම කැරැලිකරුවන්ගේ හෝ නීතිවිරෝධී රැස්වීමේ සාමාජිකයන්ගේ සතුරු ක්‍රියාකාරකම් හේතුවෙන් හමුදා සාමාජිකයකුගේ වගේම ඔවුන්ගේ කණ්ඩායමේ යම් සාමාජිකයකුගේ,හමුදා සාමාජිකයන් කීප දෙනකුගේ වගේම තෙවන පාර්ශ්වයක ආත්මාරක්ෂාවට යම් තර්ජනයක් ඇතිවන් අවස්ථාවකදී සමානුපාතික අවශ්‍ය බලය යන්නේහි සීමාවන් වෙනස් වනවා.
ඒ වගේම කැරලිකරුවන්ගේ හෝ නීතිවිරෝධී රැස්වීමේ යම් සාමජිකයකු හෝ කීප දෙනකු විසින් සිදුකරන යම් ක්‍රියාවකින් සිදුවිය හැකි හානිය අතිවිශාල එකක් වීමේ අවධානමක් හැඟී යන්නේ නම්;
අවශ්‍ය සමානුපාතික බලය යමෙකුට මරණය අත්කර දෙන මාරාන්තික බලය දක්වා යෙදවීමට හමුදා සාමාජිකයකුට බලය මහජන ආරක්ෂණ පනතේ 12 වන වගන්තිය ප්‍රකාර කැඳවා ඇති විටෙක නීත්‍යානුකූලව හිමිවන බව පුරවැසියා දැන සිටීම වැදගත්.

ත්‍රිවිධ හමුදාවන් මේ වෙලාවේ කරන්නේ ඔවුන් වෙත නීත්‍යානුකූලව පැවරී ඇති රාජකාරීමය කටයුතු මිසක වෙනත් කිසිඳු වගකීමක් නෙවේ.ඒ ඔවුන් සතුව පවත්නා මහජන ආරක්ෂාව ස්ථාපිත කිරීම විෂයෙහි පවත්නා නීත්‍යානුකූල බැඳීමයි.
වත්මනේ පවත්නා අරගල භූමියේ,අර ගම මේ ගම, එහි ශාඛාවන්, ඩීසල් පෝලිම,ගෑස් පෝලිම, අර පෝලිම මේ පෝලිමයන ඕනෑම තැනක සිටීමට, සාමකාමීව රැස්වීමට,උද්ඝෝෂණය කිරීමට, යම් දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටීමට, දේශපාලන මතයක් විවේඡනයට, රජයට සහය දැක්වීමට වගේම එය විවේචනය කිරීමට පුරවැසියකු විලස ඔබට මූලික අයිතියක් ඇත.
එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව එහි 10 සිට 14 දක්වා විස්තීර්ණ මූලික අයිතිවාසිකම් පුරවැසියා සතුව පවතියි.
නමුත්, එහිම 15(7) ව්‍යවස්ථාව ප්‍රකාර රටේ මහජන ආරක්ෂාව,නීතිය සාමය පවත්වාගෙන යාම සහ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම උදෙසා බාධා ඇතිකරන විටෙක එකී මූලික අයිතිවාසිකම් සීමා කිරීමට හැකි බවද, පුරවැසියා මතකයේ තබා ගැනීම අයිතිවාසිකම් බුක්ති විඳින්නා සේම අතිශයින්ම වැදගත් කාරණයකි.
ඔබගේ නිදහස අනෙකාගේ නාස්තුඩුව අසලින් අවසන් වන බව පුරවැසියා දැන සිටීම අනිවාර්‍යය.
ඔබට අයිතිවාසිකම් බුක්ති විඳිනට හැක්කේ සාමකාමී පුරවැසියකු ලෙසින් පමණි.
ඔබ රැඳි රැස්වීමේ,අරගලයේ, පෙළපාලියේ, උද්ඝෝෂණයේ, ගෝ ගමේ, පෝලිමේ අරමුණ සාමකාමී වනතාක් එලෙස රැඳී ඉන්නට ඔබට අයිතිවාසිකම් පවතියි.
නමුඳු, යම් මොහොතක එහි අරමුණ නීත්‍යානුකූල නොවන්නේද? අන් පුරවැසියාගේ අයිතීන්ට බාධා කරන්නේද? අවහිර කරන්නේද? මහජන ආරක්ෂාවට තර්ජන ගෙන දෙන්නේද? මහජන දේපල වලට හානිපමුණු වන්නේද? අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට බලපෑම් එල්ල කරන්නේද?
එකල්හි ඔබ නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයකු වන්නේය.එවිට ඔබ සතු මූලික අයිතිවාසිකම් බුක්ති විඳිනට ඇති අයිතිය අහෝසි වන්නේය.

එබැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ iii වන පරිච්ඡේදයේ 10 සිට 14 දක්වා ව්‍යවස්ථාවන් හි සඳහන් මූලික අයිතිවාසිකම් එහි 15(7)අනු ව්‍යවස්ථාවෙන් සීමා කර ඇති බව දැන ගෙන ජීවත් වීමත්, ඊටත් වඩා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 ව්‍යවස්ථාව තුල සඳහන් පුරවැසි මූලික යුතුකම් පිළිබඳ දැන සිටීමත්, පුරවැසියකු විලසින් අගනේය.
රටේම පුරවැසියන් එකම කටුක අත්දැකීම් බුක්ති විඳිමින් සිටියදී අයිතිවාසිකම් බුක්තිවිඳින නියාවෙන් බහුතරයක් පුරවැසියන් තවත් පීඩනයට පත්කරනා කටයුතු වල නොයෙලෙන්නට අධිටන් කර ගනිමු.
හමුදාවන් කැඳවීමට හේතුවත්, එහිදී ඔවුන් සතු නීත්‍යානුකූල බලය පිළිබඳවත් දැනුම්වත් වෙමු.
ඔවුන්ට රාජකාරිය කරගෙන යන්නට අවැසි සහය ලබාදෙමු.
අනීතික කටයුතු සිදුකරන පුද්ගල කණ්ඩායමක් සිටින තැනකට ඔවුන් කරනා නීත්‍යානුකූල නොවන කටයුත්ත වලකාලීමට හමුදාව හෝ පොලිසිය මැදිහත්වූ පසු එම අනීතික කටයුතු සුදුකල පුද්ගලයන්ට,කණ්ඩායම්වලට අනවශ්‍ය බොරු ප්‍රචාරයක් ලබාදී ඔවුන් කල අනීතික ක්‍රියා නීත්‍යානුකූල කිරීමට කටයුතු නොකරන්න.
සමාජ මාධ්‍ය වගේම රූපවාහිනී මාධ්‍ය කරන්නේත් නීතිය අතට ගෙන කටයුතු කල පුද්ගලයන් මර්ධනය කිරීමට නීත්‍යානුකූලව බලය හිමි පොලිසිය සහ හමුදාවන් ඒ නීත්‍යානුකූල නොවන කටයුතු සිදුකරන්නන් වෙත යොදන සමානුපාතික අවශ්‍ය බලය වැරදි ලෙස අර්ථ දක්වමින් සමාජගත කිරීමය.ඒ තුලින් පුරවැසියා තුල ආරක්ෂක අංශයන් කෙරෙහි වෛරය වපුරවාලීමය.
නමුත් මාධ්‍ය හරහා සිදුවිය යුත්තේ, අරගලයේ,උද්ඝෝෂණයේ, තෙල් පෝලිමේ,ගෑස් පෝලිමේ ඉන්නා පුරවැසියා තුල ඔවුන්ට නීත්‍යානුකූලව හිමි අයිතිවාසිකම් ගැන අවබෝධයක් ඇතිකිරීමය.
සාමකාමීව මිසක ප්‍රචණ්ඩකාරී ලෙස අයිතිවාසිකම් බුක්ති විඳිමට හැකියාවක් නැතිබව පුරවැසියාට කියා දීමය.
අයිතිවාසිකම් බුක්ති විඳීම විෂයෙහි නීතිමය වශයෙන්ම සීමා කිරීම් පවතින බවත්,එකී සීමාවන්ට සෑම පුරවැසියකුම යටත් වන බව පැහැදිලි කරදීමය.
එහිදී ආරක්ෂක අංශ සතු වගකීම්, ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය වගේම එකී රාජකාරීන් සිදුකරනු වස් ඔවුන් සතු නෛතික බැඳීම් සහ නෛතිකව හිමි බලතල පිළිබඳ පුරවැසියා දැනුම්වත් කිරීමය.

අවාසනාවකට අපේ රටේ සිදුවන්නේ ජනමාධ්‍ය තුලත්, සමාජ මාධ්‍ය තුලත්, වඩාත් වෙළඳපලක් හිමි කුණු රස, ගූ ගඳ, අපුල, අගුණ, වෛරය, දොම්නස, වගේ දේවල් වලට වැඩි ප්‍රචාරයක් ලබාදීමය.

#අවධානයට

සටහන – ප්‍රබුද්ධ දහනායක

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම