87-89 දේශප්‍රේමී කලබල සමයේ මීර…

, , Leave a comment

87-89 දේශප්‍රේමී කලබල සමයේ මීරිගම දුම්රියපොළ බේරාගත් හැටි………

1986 මහපොළ ප්‍රදර්ශණය පැවැත්වුණේ මීරිගමය. මේ ප්‍රදර්ශණයට සමගාමීව මීරිගම දුම්රියපොළද නවීකරණය වන්නේය. බුදුපිළිමයක් ඉදිකර, පොකුණක් සකසා බාහිර පෙනුම අලංකාර කිරිමද, වේදිකා සංවර්ධනයද, මගී පහසුකම් වැඩි දියුණු කීරීමද සිදුවන්නේ එවකට මීරිගම පාර්ලිමේන්තු මන්ත්‍රී මහේන්ද්‍ර විජේරත්න මහතාගේ ඉල්ලීමක් මත අධ්‍යාපන ඇමැති ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙනි. 1986 වර්ෂයේ දිනෙක මහපොළට සමගාමීව නවීකරණය කළ දුම්රියපොළ විවෘත කරන්නේ රජයේ නියෝජිතයින් සහභාගී වූ ජනරැළීයක්ද පවත්වමිනි. එසමයෙහි මීරිගම දුම්රියපොළේ දුම්රිය ස්ථානාධිපති ලෙස කටයුතු කර ඇත්තේ විජය රජදහන ප්‍රෙද්ශයේ පදිංචි S.A.M. ආරියනන්ද ආරියතිලකය.

1986 ගෙවී ගොස් එළැඹෙන 1987 වර්ෂයේ මැද භාගය රටේ බොහෝ ප්‍රෙද්ශවල කැරළි මතුවන්නට පටන්ගන්නේ ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් දේශප්‍රේමී දේශපාලන සංවිධාන වල මැදිහත් වීමෙනි. තුණ්ඩු කැබැල්ලකින් නඟරයක්ම නිදිගන්වන්නටත් – රාත්‍රියේ රජයේ ආයතන වෙත කඩාපැන කොල්ලකන්නටත් – ඒවා ගිනි තබන්නටත් – රජයේ ගොඩනැඟිලි වල සටන් පාඨ ලියන්නටත් කැරළී කරුවෝ කටයුතු කළහ.

කොළඹ කොටුවෙන් පසු පොල්ගහවෙල දක්වා පැවැති බොහෝ දුම්රිය ස්ථාන වල රාජකාරී කටයුතුද මෙම කළහකාරී තත්වය මත වසා දමා තිබිණි. යළට මහට පිළිවෙළින් තොරව හමුදා ආරක්ෂාව යටතේ ධාවනය වන දුම්රිය වලින් ගමන් යන මඟින්ට ටිකට් නිකුත් කෙරුණේද නැත. ගම්පහ දුම්රියපොළද වසා දමා තිබී ඇත. වේයන්ගොඩද එසේය… කැරළි කරුවන්ගේ පළමු අණට අකීකරු වූවා කියා ඔවුන් විසින් එවකට වේයන්ගොඩ දුම්රිය ස්ථානාධිපති වරයා වූ ආනන්ද පෙරේරා මහතා ගේ සපත්තු ඔහුගේම ටයි පටියෙන් ගැටගසා බෙල්ලේ පළඳවා නඟරය වටේ ඇවිද්දවා ඇතැයි ද කියැවේ. ගණේගොඩ, බුජ්ජොමුව, යත්තල්ගොඩ, විල්වත්ත ආදී සියළු දුම්රිය ස්ථාන කැරළි කරුවන් විසින් ගිනිතබා විනාශ කර දමා තිබිණි.
මේ සියළු තත්වයන් මැද මීරිගම පමණක් විවෘත කර තබන්නට – දුම්රිය ස්ථානයේ රාජකාරි කරන්නට ආරියනන්ද ආරියතිලක මහතාට අවකාශ සැළසෙන්නේ අපූරු සිද්ධියක් නිසාය.ඒ මෙසේය.

1987දී සිය පක්ෂය මඟින් ජවිපෙට සහය පළකරමින් පවත්වන රැළියකට ස්ථානය ලෙස දුම්රිය පොළ ඉදිරිපිට බස් නැවැතුමට පෙර ඉඩකඩ වෙනුවෙන් අවසර ගන්නට (එවකට) එක්සත් ලංකා ජනතා පක්ෂයේ නායක රුක්මන් සේනානායක මහතා මීරිගම දුම්රිය පොළට පැමිණේ. ඔහු පැමිණ අවසර ඉල්ලීමේදී සුහදව ප්‍රතිචාර දක්වන දුම්රිය ස්ථානාධිපතිවරයා එය තමන්ට ගැටළුවක් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ රැස්වීම්ද මෙහි සංවිධානය කළේ තමන්ගේ අවසරයකින් තොරව බවත්, ඒ පදනමින්ම ඔබගේ රැස්වීමද පවත්වන ලෙසත් රුක්මන් සේනානායකට දැනුම් දී ඇත. රැළිය අවසානයේ ප්‍රසිද්ධියේම දුම්රිය ස්ථානාධිපතිට ස්තූති කරන රුක්මන් සේනානායක මහතා මඟින් ජවිපෙ කැරළි කරුවන් ආරියනන්ද ආරියතිලකයන් කෙරෙහි පැහැදීමක් ඇති කරගනී.

ඉන් දින කිහිපයකට පසුව ආරියනන්ද ආරියතිලක මහතා සොයා එන මීරිගම ආසන්න ප්‍රෙද්ශීය කැරළි නායකයෙකු වූ “ගාන්ධී“ නම් ආරූඩ නමකින් පෙනී සිටින පුද්ගලයෙකු (පසුව හමුදාව විසින් ඔහු මරා දමා ඇත.) මීරිගම දුම්රිය පොළේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ලෙස පවසා යම් කැරළි කරුවන්ගෙන් නියෝගයක් ලැබුණහොත් එය ඔහුට දන්වන ලෙසත් පවසා පිටව ගොස් තිබේ. එම අඳුරු සමයේ දෙවසරක පමණ කාලය තුළ වරින්වර එවන් නියෝග ලැබුණු බවත් ඉන් දෙක තුනක් “ගාන්ධි“ට පවසා නිරාකරණයක කර ගත් බවත් පසුව ලැබුණු නියෝග නොසළකා හැරි බවත් ආරියනන්ද ආරියතිලක මහතා මා සමග පැවසීය.
පොලීසියට පමණක් නොව දුම්රිය දෙපාර්තමේන්තුවට පවා මීරිගම පැවැති මෙම තත්වය පුදුමයට කරුණක් වූ බව පවසන ආරියනන්ද ආරියතිලක මහතා ප්‍රෙව්ශ පත්‍ර ආදායම, භාණ්ඩ ප්‍රවාහන ආදායම සහ වාර ප්‍රෙව්ශපත්‍ර ආදායම මෙම අඳුරු සමයේ දෙපාර්තමේන්තුවට උපයා දෙන්නට තමන්ට හැකි වූ බව පවසයි. ඊට අමතරව දුම්රිය දෙපාර්තමේන්තුවේ මීරිගම සේවකයින් සහ ඔවුනගේ පවුල්ද මෙම සමයේ දුම්රිය ස්ථානයේ නැවතී සිට ඇත්තේ ජීවිතාරක්ෂාව සඳහාය. එසේම මීරිගම හරහා ධාවනය වන දුම්රියයන් වල කාර්ය මණ්ඩලයට ආහාර සපයා ඇත්තේද මිරිගම දුම්රිය ස්ථානයෙන් බව ඔහු කීය. හමුදා ආරක්ෂාවද මීරිගම දුම්රිය ස්ථානයට ලැබී තිබිණි. කලබල සමය 1989 නිමාවන තුරු කිසිදු උපදුවයකින් තොරව රාජකාරී කරන්නට වරම් ලැබුණු බව ඔහු කියන්නේ ආඩම්බරයෙනි. දේශපාලනික වශයෙන් එජාප පාක්ෂිකයෙකු වූ තමාගේ රාජකාරියේදී දේශපාලනය පසෙක ලා කටයුතු කල බව ඔහු කියයි. ඔහු පදිංචි විජය රජ දහනට දුම්රිය නැවැතුම් පොළක් ලැබෙන්නේද ඔහු මැදිහත් වී කළ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙසය.

මෙයට අමතරව පසුකාළින උසස්පෙළ විභාගයක් පැවැති සමයක පැවැති වැඩවර්ජන දිනයෙක උදෑසන කොළඹට එන මහනුවර- කොළඹ නඟරාන්තර දුම්රිය නවතා මීරිගම සිසුන්ව විභාග මධ්‍යස්ථානය වූ වේයන්ගොඩ වඳුරව බණ්ඩාරනායක විදුහලට එවන්නටද ආරියනන්ද ආරියතිලක මහතා සිය දුම්රිය ස්ථානාධිපති බලතල භාවිතා කොට ඇත. ඒ හේතුවෙන් වැඩ තහනමකට පවා ලක්වූ බව පවසන ඒ මහතා තම රාජකාරී දිවිය තුළ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම නිසා 13 වතාවක් වැඩ තහනම් වූ බවද පවසයි. නමුත් එදා දුම්රියෙන් ගොස් විභාගය ලියා පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ – දැන් උසස් රැකියාවන් කරන දරුවන් පැමිණ කරන ස්තූති කිරීම් හමුවේ ලබන සතුට කියා නිම කළ නොහැකි බව ඒ මහතා පවසයි.

1969 දී දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපති වරයෙකු ලෙස සේවයට බැඳී 1993 දී පළමු ශ්‍රෙණියට උසස් වී 2005දී විශ්‍රාම ගිය ආරියනන්ද ආරියතිලකයන් සතුව ඇති දුම්රිය සම්බන්ධ අතීත කතන්දර බොහොමයකි.ඉදිරියේදී ඒවා එකින් එක හෙළි කරන්නට බලාපොරොත්තු වෙමි
උපුටා ගැනීම – ප්‍රදීප් පතිරණ මහතා ගෙනි.
Special Thank – Asuranga Mendis

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම