ඒ ලෙවල් ඉවරයි. ඒක නිසා කරන්න ව…

, , Leave a comment

ඒ ලෙවල් ඉවරයි. ඒක නිසා කරන්න වැඩ දෙකක් තියනවා. එකක් තමයි කොහේ හරි මියුසිකල් ෂෝ එකට ගිහිල්ලා පිස්සුවෙන් වගේ නටන්න. අනිත් එක උඹලා සේරෝම එක්කගෙන ලොකු ට්‍රිප් එකක් යන්න.එහෙම හිතාගෙන ප්ලෑන් එකක් හිතේ තිබ්බා ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න දවසක් බල බලා හිටියේ. ට්‍රිප් එක වගේ එව්ව හැමදාම කතාවට විතරක් සීමා වෙන හින්දා ,ළඟ තියෙන මියුසිකල් ෂෝ එක මොකක්ද කියලා හොය හොයා ඉන්න කොට තමයි මීරිගම ග්‍රවුන්ඩ් එකේ ෂෝ එකක් තියෙනවා කියලා ආරංචි වුණේ . පන්තියේ හිටපු හැම එකාටම පණිවුඩය දුන්නා. බෙබා, පොලිය අල බුරිය, ලුප්‍තය, තොලා…උන් සේරම එනවා කියලා කිව්වා… උන් සේරම මගේ එක පන්තියේ. ..ඕක එක පන්තියෙ කියල කිව්වට ඇත්තටම එක පන්තියේ නෙමෙයි. බයෝ ක්ලාස් එකේ තුනයි. agri ක්ලාස් එකේ ඒකයි. Maths එකේ එකයි… හරි අමුතුම සංයුතියක්..හැබැයි අපි හැමෝම එකම පංතිය තමයි. ඔය පන්තියට අයිති වෙන අපේ ගමේ එකෙකුත් හිටියා.ඌත් අපේ පංතියෙම නිසා ඌවත් මේකෙන් හලන්න මට විදිහක් තිබ්බෙ නෑ. ඌ මගේ ම පංතියේම එකෙක්.අදාල දවස ආවහම හවස හතර හමාර පහ වෙද්දි, සියලුම ජොකියෝ ටික අපේ ගෙදරට පාත් වුණා. සියලු දෙනාගේ කටවල් බඩවල් ගැන දන්න හින්දා, රෑට කන්ඩ නැතත් හැම වේලටම හරියන්න අම්මා මඤ්ඤොක්කා තම්බලා සම්බෝලයක් හදලා දුන්නා.
“උඹ දැන් කොහෙද යන්න ලෑස්ති වෙන්නෙ”
කොහෙවත් නෑ මීරිගම මියුසිකල් ෂෝ එකක් තියෙනවා ඒක බලන්න යනවා”
“ඇයි මොකක්ද කියන්නේ ඒ ලෙවලුත් ඉවරයිනේ..”
“යකෝ උඹ නිකං හොඳට වැඩ කරලා කැම්පස් යන්න පාස් වෙලා වගේනෙ කතාව”…” රස්තියාදු ගගහා ඉදලා දැන් නිකං හෙන ලොකුවට මහන්සි වෙලා විභාග පාස් වෙන්න වැඩ කලා වගේ..” අනේ මගේ කට..”මගෙන් එහෙම සල්ලි ඉල්ලන්න එපා ඕවට”
“සල්ලි ගන්නෙ නෑ නොමිලේ පෙන්නන්නෙ”

කතාව දුරට යන හින්දා හින්දා ආපු උන් ටික වත්ත පල්ලෙහාට ගිය හින්දා මේ වැඩේ කොහොමත් වෙන හින්දා මම හිමින් සීරුවේ වත්ත පල්ලෙහාට පසුබැස්සා…
“මේ අද නම් මොනවා හරි කරන්ඩ ඕනෑ”
“ඔව් මොනවා හරි මත් වෙන දෙයක් නම් කරන්න ඕනේ”
“බීලා අපි නටමු පිස්සුවෙන් වගේ”
ඔය වගේ රහමෙර සාකච්ඡා ගොඩක් අපේ උන් අතර මට ඇහුණා”
“ඒත් ඉතිං වත තමා නැත්තෙ වත නෑනේ….
වත..කියන්නේ මොකක්ද බං?
“නෑ යකෝ වත්කන් නෑ වත් කං…”
තොලා තමයි ඔය ප්‍රශ්නය ඉස්සරහට ගෙනාවේ…
සියලු දෙනා ගාව තියෙන මුදල් ගනනය කර බැලීමේදී එය සියලු දෙනාටම මත් වීම සඳහා සෑහෙන ප්‍රතිපාදනයක් නොවන බව අපිට හැගී ගියා..කොහොම හරි එකතු වෙච්ච ගාන පිරිමසාගෙන සියලු අවශ්‍යතා සපුරා ගන්නා අදිටනින් නැවතත් අප සියලු දෙනාම සිගරට් තුනයි පාන් රාත්තලක දුර ගෙවාගෙන ගිනිදම්මන හන්දියට සේන්දු වූයෙමු. එකල වෙද හන්දියේ තිබූ බාර් එක වෙත මූණු පහලට සිටින සේ කැප් තොප්පි දමා ගන ලං වූයේ, අතේ තියෙන මුදලට කාටවත් මූණ නොපෙනෙන (හඳුනාගන්න නොහැකි වන ලෙස) ලෙස, අඩු මුදලකින් වැඩි මත්වීමක් ලබාගත හැකි බෝතලයක් මිලදී ගැනීමටයි..
” අයියේ අර බෝතලය කීයද ” කලින් රස බලා ඇති සමහර බෝතල් වල මිල ගනන්, අප බඩතුරේ සඟවාගෙන සිටි මුදලට ලබා නොගත හැකි බව තේරුම් යන විටම ,,ඒ බව මැනවින් තේරුම් ගත් බාර් එකේ අයියා පත්තරය කොළයක ඔතන ලද ගල් බෝතලයක් ලබා දුන්නේ, අප සතු මුදල් වටිනාකම් ඉර්දියෙන් මෙන් තේරුම් ගෙනය. පිං කැටයක් කඩා ලබාගන්නා ලද මුදල් මෙන්, මාරු කාසි ගොඩකින් ද, එකතු කරන ලද දහය විස්සේ කොලද බාර් එකේ තට්ටුව උඩින් තබා, ගල් බෝතලය තොලාට ලබා දුන්නේ තබා ගන්නා ලෙසයි.පත්තර කොළය පිටින්ම කලිසම ඇද බඩ අස්සේ ගසාගත් බෝතලය සමග තොලත් මමත් ඉතුරු උන් ටික ඉන්න පැත්තට යනවිට එකවරම තාර පාරෙන් “ටීං” ගාල සද්දයක් මතුවුණා…
“හුටා”
හැමී නෙනෙවා…
මොකක්ද ප***යෝ ඒ කලේ”
බඩතුරේ සඟවා ගන්නා ලද අරක්කු බෝතලය කලිසම් අස්සෙන් ලිස්සා ගොසිනි. තාර පාර පුරාම විසිරී ගිය රහමේරේ බලාපොරොත්තුව දුටු සැනින් අනිත් හතර දෙනාම අඳුරට මුවා වී සිට “හපොයි” කියලා සුසුම් ලෑවේය..කරගත හැකි කිසිම දෙයක් නොමැතිව අන්ත අසරන වූ අපහට මීලගට කරනුයේ කුමක්ද යන්න හිතාගැනීමට වත් නොහැකි විය. කුමක් හෝ විකල්පයක් සොයා ගැනීමට මම තොලා ගේ මුහුණ දෙස බැලීමි. මෙවන් අවස්ථාවල බොහෝ විට පිහිටට එනුයේ ලුප්තයාගේ සඟවාගත් මුදල්ය.
එහෙත් ඒවා සෑම විටම නැවත ප්‍රතිපූර්ණය කළ යුතු බව, අප දන්නා කරුණකි.
” සල්ලි රුපියල් දෙසීයක් තියනවා,, ඒක බෝතලයක් ගන්න නම් මදි.. දෙන්නම්..ඒත් ඒක ආයේ ඕනෑ. මේ වගේ වෙලාවල් වල, අවදානමක් අරගෙන සල්ලි වලට ඇපවීම තොලාට නිසර්ගයෙන්ම හැකියාව තිබුණු නිසා ආයෙත් මම උගේ මුහුණ පැත්ත බැලුවෙමි.
“දීපන්කො එක, ලබන මාසයේ ක්ලාස් ෆීස් ගෙදරින් දෙනවනෙ. මොකද ලබන මාසේ ඉදන් රිවිශන් යන්න ඕනෑනේ බන්. අපි එකපාරින් විභාගේ පාස් වෙනවා කියලා නෑනේ” අමාරුවෙන් ගත් රුපියල් දෙසීය ගමේ එකාගේ අතට දීමෙන් පසු ඊළඟට කරන්නේ කුමක්ද යන ප්‍රශ්නයක් සමග මා ඌගෙ මුහුණ දෙස බැලුවෙමි.
” කසිප්පු තමා” ඒ වන විට කසිප්පු වල රසය නොදත් මා ඇතුළු සෙසු සියලු දෙනාම ,එය සපයා ගන්නේ කෙසේදැයි යන්නත් නොදැන සිටියේය. එකවිටම මතකයට ආවේ ගිනිදම්මන හන්දියෙන් ඇතුලට ඇති පාරක එවන් නිවසක් ඇති බවයි. අඳුරේම ඒ පැත්තට ඇදුනු මා හා ගමේ එකා කළුවරේම ඒ ගෙදරට කතා කරන්නට විය.
” ගෙදර කවුද ”
“ගෙදර කවුරුවත් නැද්ද”
සෑහෙන වෙලාවකට පසු එළියට පැමිණියේ වයස හතළිස් පහක පමණ කාන්තාවකි. ඇය මා මීට පෙර දැක තිබුණු බැවින්, මා ටිකක් අඳුරට මුවා වී එහාට වී සිටියෙමි..
“බඩු ටිකක් ගන්ඩ තියෙනවද ”
“මොන බඩුද”
“කසිප්පු, කසිප්පු”
මෙහෙ ඇති කසිප්පුවක් නෑ”
“අනේ එහෙම කියන්න එපා”
“අර අතන ඉන්නේ ටීචගේ පුතා නේද ?”
“යන්න යන්න මෙහෙ ඔව්වා විකුණන්නෙ නෑ”
“වෙච්ච දෙයින් කිසිවක් කරගත නොහැකි වූ අප, නැවතත් පාරට පැමිණ බස් රථයක් එනතුරු බලා සිටියෙමු.
කෙසේ හෝ මීරිගමට ආසන්න ප්‍රදේශයකින් කසිප්පු සොයාගත හැකි බව ගමේ එකා කීවේ දැඩි විශ්වාසයකිනි. ඉන්පසු රේල් ගේට්ටුව ට මෙහායින් අඳුරු පාරක් දිගේ යනවිට අපට අවශ්‍යතාවය සපුරා ගත හැකි විය. නමුත් අප සතුව රැගෙන යාමට කිසිම බෝතලයක් නොමැති බැවින් සිලි කවර දෙකකට පුරවා දෙන ලද මලු බොහෝම පරිස්සමෙන් රැගෙන ගොස් රේල් පාර අද්දර තිබූ දුම්රිය ගබඩාවේ (අද වන විට සතොස) අයිනක සිට සිලි කවර එක පැත්තකින් හිලක් සාදා, බිඳක්වත් අහකට යන්න නොදී සියලු දෙනාම සප්පායම් වූයෙමු.
ඒ වන විට විදුලි ආලෝකයන්ගෙන් විසිරුණු අහස අප හට ටී සී ග්‍රවුන්ඩ් එකට එන්ඩ කියන්නාක් මෙන් ඒ මේ අත විසිර යන්නට විය.
” ඒ යමල්ලා යමල්ලා… අන්න අරක පටන් අරගෙන ද කොහෙද…”
හවස ඇදහැළුණු වර්ෂාව හේතුවෙනුත් තණකොළ නොමැති නිසාත් තනිකරම මඩවගුරක් ව තිබූ පිට්ටනියට බෆල් වල තියෙන ගිගුම් දෙන ශබ්දයත් සමග අප ඇදී ගියේ කාන්දම් වලට ඇදෙන යකඩ කුඩු මෙනි. දන්නා සියලුම නැටුම් වර්ග වලින් එම සංගීතයට හති වැටෙන තුරු නැටූ අප හට අප කණ්ඩායමේ එකෙක් අඩු බව තේරුණි..
“මචං අල බුරිය නෑ” නෑ නෑ හිටිය බං… අතන බෆල් ගාව බලපන්..
මා එතනට යන විට පොළොව දෙදරන සද්දෙ පාමුල අල බුරිය සුව නින්දේය..
අතින් ගසා කකුලෙන් ඇන කීද්දුව අල බුරියා, කන් පැලෙන සද්දෙ ඇති ලොරි දෙකකට වඩා උස ඇති, බෆල් දෙස බලා”මෙව්වා ලොකු වුණාට කිසි සද්දයක් නෑ නේ බං”
ඒ වනවිටත් පළාතම ගිගුම් දෙමින් ඇසුණු මේ සද්දය අල බුරියාට නොඇසෙන්නට ඇත්තේ ඌගේ සාක්කුවේ තිබූ කහ පැහැති කුඩා හිස් හිස් ඉටි කවර පැකට් දෙක නිසා බව මට ඉවෙන් මෙන් තේරුනි..
පාන්දර තුන හමාර හතර වන විට මඩ සියල්ල වියැකී ගොස් දූවිලි එන තරමටම පිටියේ සිටි සියලු දෙනා හරඹ පා තිබූ බව නම් ලයිට් එළිවලට වැදී උඩට නගින්නා වූ දූවිලි කුණාටු වලින් අපට පසක් විය. හැකි ඉක්මනින් පාන්දර කෝච්චියෙම ගෙදර යා යුතු බව ගම්පහ සිට පැමිණි නඩය පවසා උදෑසන හතරයි දහතුනේ දුම්රියට නැග ගිය පසු මා හා ගමේ එකාට ගෙදර යාමට කිසිදු මගක් මඟක් නොමැති බව පසක් විය . ස්ටේෂන් එකෙන් අනක් පසට ගොස් මීරිගම සෙන්ට්‍රල් එකේ අයින දිගේ පාරේ අප දෙදෙනා ගමන් කළේ අරමුණකින් තොරවයි. වැඩි දුරක් එසේ ඇවිදීමට නොහැකි වූයේ ඒ වන විට මා හට ඔක්කාරයට එමින් අධික හිසරදයක් හිස තුළ ජනනය වෙමින් තිබූ බැවිනි.
” පයිං යන්ඩ බෑ බං වමනේ යන්න එනවා”
“අපි සෙන්ට්‍රල් එකට වෙලා නිදා ගමු”
“කොහොමද බං ඒකේ නිදාගන්නෙ?”
ඔය පන්ති කාමරයක් ඇතුලට වෙලා ඩෙස් එකක් උඩ නිදා ගමු”
” තව පැයකින් විතර නැගිටලා යමු”
සීනුව හඬවන නාදයත් ළමයින්ගෙ විවිධ හඬත් ඇසේදදී මා හීනෙන් මෙන් එක ඇසක් ඇර බලද්දි මට එහා පස මගේ සගයා කට ඇරගෙන සැප නින්දක පසු වේ.. සුදු ඇඳුමෙන් සැරසුණු ළමයින් ගොන්නක් අප දෙස බලා සිටී…
” ඒ අඩේ.. නැගිටපං… නැගිටපං…එලිවෙලා…
” අයියේ මේ යන්න එපා””
“මෙව්වා අස් කරලා යනවාලා”
කටකාර කෙල්ලක් කොස්සක් අතේ තියාගෙන මා දෙස රවා ගෙන බලා සිටී…
හීනෙන් මෙන් අවදි වූ අප දෙදෙනා ඉතා වේගයෙන් දිව ගොස් රබර් වත්ත පෙදෙසේ ඇති ගේට්ටුවෙන් පැන දිවුලපිටි පාර දක්වාම හුරේ රන් එකක් දුන්නෙමු..
දවසේම නිදාගන හවස් වරුවේ අම්මාගේ හඬ ඇසී ඒ හැරුණු විට ඇය තාත්තා සමඟ දවසේ සිදුවීමක් විස්තර කරයි..
“රාලහාමි අද උදේ හරි වැඩක් නේ ඉස්කෝලෙ වෙලා තියෙන්නේ” කවුද මන්දා බීපු මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා මගේ සෙක්ෂන් එකේ නමේ වසරෙ පංතියේ පුරාවටම වමනේ දාලා උදේ ඉස්කෝලේ පටන් ගන්නකොට නැගිටලා පැනලා දුවලා”
” මොක්කු හරි කාලකන්නි දෙන්නෙක් වෙන්න ඇති” ඒ අපේ තාත්තාගේ නිගමනයයි….

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම