ලබන වසරේ මුල් කාර්තුවේදී අපේ ර…

, , Leave a comment

ලබන වසරේ මුල් කාර්තුවේදී අපේ රටේ දුප්පත්කම රටේ ජනගහණයෙන් සියයට හැට ඉක්මවා යා හැකි බවට ආර්ථික විශාරදයන් ගේ මතයයි.
බොහෝ පුරවැසියන්ට තම කුටුම්භය පරිපෝෂණය කරගන්න බැරි තත්ත්වයට පත් වන්නේ භාණ්ඩ හා සේවාවන් හි මිල ඉහළ යාම හේතුවෙන්.
අපේ රටේ සෑම පුරවැසියකුටම කුසගින්න නිවා ගන්න සහනදායී ක්‍රමවේදයක් නැතිදැයි මා සොයාබැලීමට පටන් ගත්තේ ගෙවී ගිය කෝවිඩ් සමයේ ඉඳන්, මිනිස්සුන් අතරට පහසු මිලට අත්‍යාවශ්‍ය ආහාර පාන ටික යවා ගන්න් පුළුවන් ක්‍රමවේදයක් ගැනයි මුලින්ම හෙව්වේ.
ඊට අමතරව අස්වැන්නේ නාස්තිය අවම කරගෙන අතරමැදියා අතට යන අසීමිත ලාභය අවම කරලා, ගොවියාට හොඳ මිලක් ගෙවලා, ජනගහණයෙන් සාතිශය බහුතරයක් වන රටේ බදුගෙවන පාරිභෝගික ජනයාට සමබල ආහාර වේලක් සරි කරන්නේ කොහොමදැයි? කියා සොයා බලන්න පටන්ගන්නේ ඉන් පසුවයි.
දේශපාලන විද්‍යාවේ හදාරණ නවලිබරල්වාදයේ සිට මාක්ස්,ලෙනින්,මාවෝ කරපු කියපුවාත්, හෝ චිමිං,ලී ක්වාන් ගේ සිට කැස්ත්‍රෝ,පුටින්, ඔබාමා ගිය ක්‍රමයන් අතගා බැලුවේ අපිට හරියන System එකක් ගැන සොයා බලන්න.
ඒත් එක්කම සිරිමාවෝ ගේ සිට ජේ.ආර් හරහා ප්‍රේමදාස දක්වාත්, චන්ද්‍රිකාගේ ඉඳන් මේ දක්වා ආපු System ටිකවිතරක් නොවේ…
විකල්ප ධාරාවේ දේශපාලන පක්ෂ වූ ජ.වි.පෙ ජනාධිපති අපේක්ෂකයන් වූ විජේවීර,ගලප්පත්ති, නන්දන ගුණතිලක ගේ සිට ඇන් ඇම්,වාසු වගේ අයගේ විතරක් නොව.. රාජපක්ෂ ක්‍රමයත්,අ.කු.දි ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හරහා වික්‍රමසිංහ දක්වා වූ ක්‍රමවේදයන් හැදෑරීමකට ලක්කලේ… අපේ රටේ මිනිස්සුන්ගෙන් බුහුතරයකට අහිමි බත් පත සරි කරන්න හරියන System එකක් හොයන්න.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගැන Model හොයන්න වියට්නාමය, ඉතියෝපියාව වගේ රටවල් ගැන විතරක් නොවෙයි, ඩුබායි ගැනත් කියවා බැලුවා.
එහිදි අපේ අසල්වැසි ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළයේ ක්‍රියාත්මක ” කේරළ ක්‍රමය ” ගැනත් කියවා බැලුවේ ඒකවත් Set වෙයිදැයි…බලන්න.

මේ සියල්ල අස්සේ මේ පුංචි දූපත අස්සෙම කෑම බීම ටික සරි කරගන්නත්, අස්වනු ටික කළමනාකරණය කරගන්නත්, ඒ හරහා රටේ සෑම අස්සක මුල්ලකටම ආහාර ද්‍රව්‍ය ටික පාලන මිලක් යටතේ යවා ගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවා නොවේදැයි මට පසක් වූයේ…
“සමූපකාර ක්‍රමය” “සමූපකාර ව්‍යාපාරය” ගැන කියවන්න ගත් වෙලේ ඉඳන්,
සමූපකාර ව්‍යාපාරය තුලින් අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය, විතරක් නොවෙයි එලවළු ,පළතුරු,මස් මාළු, බිත්තර ටිකත් සාධාරණ මිළ ගණන් යටතේ බෙදා හරින්න ලේසියෙන්ම හැකියාව ලැබෙනවා.
සමූපකාරය හරහා මේවැඩේ කරන්නේ කොහොමද කියලා කතා කරන්න් කලියෙන් සමූපකාර ව්‍යාපාරය පිළිබඳ ඉතිහාසය සහ දැනගත යුතුම තොරතුරු ටිකක් ගැනයි මේ ලිපියෙන් කතා කරන්නේ.
ජනයා තුල system එකක් ගැන විස්වාසය ගොඩනගන්න නම් System එකේ Basic ට්ක වගේම Background එක දැන සිටීම වැදගත්..
මේ උත්සහය..රටේ දේශපාලන අතපෙවීම නිසා කඩාවැටුණු සමූපකාර ව්‍යාපාරය නැවත බලගන්වමින්;
රට ඉල්ලන System එක 14000කට වැඩි ගම දනව් වලින් අරඹන ක්‍රමය ගැන කතිකාවක් ගොඩ නැගීම පිණිසමැයි.

* සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය, වර්ධනය සහ සම්භාව්‍ය ඉතිහාසය
_____________________________________________
සමුපකාරයේ ඉතිහාසය දෙස බලන කල මුලින්ම සමුපකාර ව්‍යාපාරය කොතනින් පැන නැගුනාද කාරණය පිලිබඳ යම් විවාදාත්මක තත්වයක් පවතියි. මේ අධ්‍යයනය සංක්ෂිප්ත එකක් වන නිසා එය පහසු කර ගැනීමට මෙම විවාදාත්මක හබයන් ගෙන් මදක් මෑත්ව ව්‍යාපාරයේ ඉතිහාසය සොයා බලමු.

* නූතන සමුපකාර ව්‍යාපාරයේ ඉතිහාසය
_____________________________________________
එය කාර්මික විප්ලවය මත පාදක වන බවට විවාදයක් නැත. කාර්මික විප්ලවය 19 වන සියවසේදී එංගලන්තය හා ප්‍රංශය මූලික කොට ගෙන පැන නැගිනි. එය මනුෂ්‍ය වර්ගයා වෙත දරුණු ප්‍රහාරාත්මක බලපෑමක් සිදු කලේය.
එය මිනිස් ඉතිහාසය වෙනස් කලේ සමකාලීන මනුෂ්‍ය ජීවිත තුලට දරුණු පීඩනයක් මුදා හරිමිනි. ගොවීන් ගොවිබිම් වලින් වියෝ කර නාගරික ශ්‍රම බලකාය වෙත පලවා හැරිනි. විරැකියාව උග්‍ර වූ අතර බොහෝ දෙනා නාගරික පරිශ්‍ර තුල ඉබාගාතේ ඇවිදගෙන ගියහ. ශිල්ප ශ්‍රේණි වෙනුවට නූතන ශ්‍රම බිම් හෙවත් කර්මාන්තශාලා (Factory) ආදේශ විය. වැඩවසම් සබඳතා වෙනුවට ධනව‍ාදී සබඳතා ආදේශ වෙමින් පැවතිනි. කම්කරු ප්‍රමිතීන් අතිශය ම්ලේජ්ජ වූ අතර දීර්ඝ වැඩ පැය ගණනකට කම්කරුවන්ට ලැබුනේ අතිශය සොච්චම් වැටුපකි. කම්කරුවන්ගේ ඒකරාශීවීම් තහනම් කෙරිනි. මෙම දුක්කිත තත්වයට එරෙහිව සමාජීය සිතන්නන් අතරින් ප්‍රධන ව්‍යාපෘතීන් කිහිපයක් බිහිවූ බව පෙනේ. සමුපකාර ව්‍යාපාරය ඉන් එකක් වන අතර චාට්ස් වාදය, වෘත්තීය සංගම් ව්‍යාපාරය, කම්කරු දේශපාලන ව්‍යාපාරය අනෙක් ව්‍යාපෘතීන් වේ.

* පලමු සමුපකාරික ආයතනය
_____________________________________________
පළමු සමුපකාරය ලෙස හමුවන්නේ ස්කොට්ලන්තයේ නැගෙනහිර අර්විෂයාර් හි පෙන්වික් රෙදි වියන්නන්ගේ සමිතියයි (Fenwick Weavers’ Society).
ඒ 1761 වර්ෂයේදීය. මෙම සමිතිය දේශීය කම්කරුවන්ට සහන මිලට ඕට් ධාන්‍ය පිටි (Oatmeal) අළෙවිකරනු ලැබිණි. අනතුරුව මෙහි සේවාවන් ඉතිරිකිරීම් හා ණය ගණුදෙනු දක්වාත්, විදේශ ගමන් හා අධ්‍යාපන කටයුතු දක්වාත් ව්‍යාප්ත විය. 1810 දී සමාජ ප්‍රතිසංස්කරණවාදී රොබර්ට් ඕවන් හා ඔහුගේ සම චින්තකයන් විසින් ඕවන්ගේ මාමන්ඩියගේ නිව් ලැමාර්ක් මෝල මිලදී ගත් අතර ඔවුන් හොද මට්ටමේ කම්කරු ප්‍රමිතීන් එම වැඩබිමට හදුන්වා දුන්නේය.
අඩු මිලැති සිල්ලර වෙළද සැල් මගින් ලාභය කම්කරුවන් අතර බෙදා හැරියේය. ඕවන් සමුපකාරික ව්‍යාපාරයට වැදගත්වන්නේ සමුපකාරය පිලිබඳ අදහස තම රචනාවන් හා ‍දේශනයන් ඔස්සේ වර්ධනය කල පුරෝගාමියා නිසාය. ඔහු සමුපකාරික ප්‍රජාවන් ග්ලැස්ගෝව්, ඉන්ඩියානා හා හැම්ප්ෂයර් යන ස්ථාන වල ස්ථාපිත කලේය. විලියම් කිංග් සමුපකාරිකයා(The Cooperator) නමින් පුවත් පතක් තුලින් ඕවන්ගේ සිතීම් ඉදිරිපත් කලේය. එසේ නමුත් මෙම ව්‍යාපෘතීන් 1828 දී බිද වැටීමට ලක්විය.

* රොච්ඩේල් සමානතා පුරෝගාමියෝ-
Rochdale Equitable Pioneers
_____________________________________________
රොච්ඩේල් සමානාත්මතා පුරෝගාමීන් ස්ථාපිත වන්නේ 1844 දීය. මොවුන් අනිවාර්යයෙන්ම හදුනා ගැනෙනු ඇත්තේ පලමු සාර්ථක සමුපකාර ව්‍යවසායකත්වය හා නූතන සමුපකාර ව්‍යාපාරයේ සමාරම්භකයන් වශයෙනි. සමුපකාර ව්‍යාපාරය සඳහා මූලධර්ම (Principles) හදුන්වා දුන්නේ මොවුන්ය.
අද අප ඒවා රොච්ඩේල් මූලධර්ම (Rochdale Principles) ලෙස හදුන්වයි. මෙම සමූහය එංගලන්තයේ රොචිඩේල් හි පදිංචි පේෂ කාර්මිකයන් හා වෙනත් ශිල්පීන් 28 දෙනෙකුගෙන් සමන්විත විය. ඔවුන් ආහාර ද්‍රව්‍ය අළෙවිකරන ඔවුන්ගේම අළෙවිසැලක් ගොඩ නැගුවේය. ඔවුන්ගේ මෙම පුරෝගාමිත්ව‍ෙයන් වසර 10 ක් ඉක්ම යන විට එංගලන්තය පුරා දහසකට අධික සමුපකාරික ආයතන බිහිවී තිබිනි.

* රොච්ඩේල් මූලධර්ම –
Rochdale Principles (1844)
_____________________________________________
රොච්ඩේල් පුරෝගාමීන් විසින් හදුන්වා දුන් මූලධර්ම යම් යම් විකරණයන්ට භාජනය වෙමින් අද දක්වාම සමුපකාර ව්‍යාපාරය තුල පැවතෙයි. එම නිසා රොච්ඩේල් මූලධර්ම හදුනා ගැනීම වැදගත්වේ.

• විවෘත සාමාජිකත්වය Open Membership

• ප්‍රජාතන්ත්‍රවාදී පාලනය Democratic control (one person, one vote).

• ව්‍යාපාරයේ අතිරික්තය කොටස්කරුවන් අතර බෙදා හැරීම Distribution of surplus in proportion to trade.

• කොටස් ප්‍රාග්ධනය සඳහා සීමිත පොලියක් ගෙවීම Payment of limited interest on capital

• දේශපාලන හා ආගමික මධ්‍යස්ථතාවය Political and religious neutrality.

• මුදලට පමණක් වෙළදාම (ණය අනුග්‍රහයක් නොදක්වයි ) Cash trading (no credit extended)

•අධ්‍යාපන ප්‍රවර්ධනය Promotion of education

* ජාත්‍යන්තර සමුපකාර සංධානය
(International Co-operative Alliance -ICA)
හා එහි වර්ධනය
_____________________________________________
රොච්ඩේල් පුරොගාමීත්වයෙන් දශක හතරක ඇවෑමෙන් එනම් 1895 වසරේ අගෝස්තු 19 දින ලන්ඩනයේ පැවති සිය පලමු සම්මේලනය ඔස්සේ ජාත්‍යන්තර සමුපකාර සංධානය ඇරඹිනි.
මේ සඳහා ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, හංගේරියාව, ඉන්දියාව, ඉතාලිය, නෙදර්ලන්තය, රුසියාව, සර්බියාව හා එක්සත් ජනපදය යන රටවලින් නියෝජිතයන් සහභාගි විය. මොවුහු සංවිධානයේ අරමුණු ස්ථාපිත කලහ.
මෙම සංවිධානය අද වන විට ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බවට පත්ව ඇත.
සමුපකාර ව්‍යාපාරයේ සංකල්පීය තලය හා ජාත්‍යන්තර ඒකාබද්ධතාවය නූතනයේ නියෝජනය කරන්නේ ICA ආයතනයයි.

* රොච්ඩේල් මූලධර්ම තුලින් නූතන සමුපකාර මූලධර්ම විකාශනය වීම (1937 -1995)
_____________________________________________
ජාත්‍යන්තර සමුපකාර සංධානය සමුපකාර මූලධර්ම ලෙස රොච්ඩේල් පුරෝගාමීන්ගේ මූලධර්ම 1937 දී නිල වශයෙන් පිලිගත්හ.
1966 දී මෙම මූලධර්ම සමකාලීන තත්වයන් සැලකිල්ලට ගෙන පහත පරිදි විකරණයට බදුන් කරන ලදී.

• විවෘත, ස්වේච්ඡා සාමාජිකත්වය
Open, voluntary membership.

• ප්‍රජාතන්ත්‍රවාදී පාලනය
Democratic governance.

• ස්කන්ධය සඳහා සීමිත ප්‍රතිදානයන් ගෙවීම
Limited return on equity.

• අතිරික්තය සාමාජිකයන් අතර බෙදාහැරීම
Surplus belongs to members.

• සාමාජිකයන් සහ පොදු ජනයා සමුපකාර මූලධර්ම පිලිබඳ දැනුවත් කිරීම Education of members and public in cooperative principles.

• සමුපකාර ව්‍යාපාර අතර සහයෝගීතාවය ( සමුපකාරය )
Cooperation between cooperatives

1995 වසරේදී සමුපකාර මූලධර්ම පිලිබඳ දීර්ඝ කතිකාවකින් පසු මෙම මූලධර්ම නැවත විකරණයට හා ප්‍රති නිර්වචනයකට ලක් කිරීමක් ජාත්‍යන්තර සමුපකාර සංධානය මගින් සිදු කරන ලදී. එහිදී සත්වන මූලධර්මය ලෙස “ප්‍රජාව පිලිබඳව සැලකිලිමත් වීම” එක්කෙරිනි.

• Voluntary and Open Membership විවෘත, ස්වේච්ඡා සාමාජිකත්වය

• Democratic Member Control ප්‍රජාතන්ත්‍රවාදී පාලනය

• Member Economic Participation සාමාජික ආර්ථික සහභාගිත්වය

• Autonomy and Independence ස්වයංපාලනය හා ස්වෛරීභාවය 5

• Education, Training and Information අධ්‍යාපනය,පුහුණුව හා සංවර්ධනය

• Co-operation among Co-operatives සමුපකාර අතර සහයෝගීතාවය

• Concern for Community ප්‍රජාව පිලිබඳ සැලකිලිමත් වීම

සමුපකාරය පිලිබඳ නිල නිර්වචනය
(ICA – 1995)
_____________________________________________
1995 දී ජාත්‍යන්තර සමුපකාර සංධානය “සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය” නැමති ලියවිල්ල ඔස්සේ “සමුපකාරය”” යන්න සඳහා ලබා දී ඇති නිර්වචනය නූතන සමුපකාර ව්‍යාපාරය පිලිබඳ නිල නිර්වචනයයි.

සමුපකාරය යනු ස්වේච්ඡාවෙන් ඒකාබද්ධ වූ පුද්ගලයන් ගේ ස්වයංපාලිත සංගමයක් ඔස්සේ ඔවුන්ගේ පොදු ආර්ථික, සමාජීය, සහ සංස්කෘතික අවශ්‍යතා සහ අභිලාශයන් ඉටු කරන සාමූහික අයිතිය හා ප්‍රජාතාන්ත්‍රික පාලනය ඇති ව්‍යවසායකත්වයකි

සමුපකාර සාරධර්ම
(ICA – 1995)
_____________________________________________
1995 දී අන්තර්ජාතික සමුපකාර සංධානය “සමුපකාර අනන්‍යතා ප්‍රකාශනය” තුලින් සමුපකාරය ව්‍යාපාරය සඳහා සාරධර්ම මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ස්වෝපකාරය, ස්වයං වගකීම, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, සාධාරණත්වය හා සාමූහිකත්වය යන සාරධර්ම මත සමුපකාරය පදනම් වේ. එසේම ඔවුන්ගේ පුරෝගාමීන්ගේ සම්ප්‍රදාය අනුව සමුපකාර සාමාජිකයෝ අවංකත්වය, විවෘතභාවය, සමාජ වගකීම සහ අනෙකා පිලිබඳව ගරුකිරීම යන ආචාර ධර්ම පිලිබඳවද විශ්වාස කරති.

* අන්තර්ජාලය හා සමුපකාරය
_____________________________________________
අන්තර් ජාලය තුල යම් වෙබ් අඩවියක ගති ලක්ෂණ එහි ඩොමේන් නාමය හරහා ප්‍රකාශයට පත්වේ. .com .org .gov .eu යන මුදුන් මට්ටමේ (top level) ඩොමේන් නාම තුලින් පිලිවලින් ව්‍යාපාර, සංවිධාන, රාජ්‍ය, අධ්‍යාපන ආදී ලෙස අඩවිය හදුනාගත හැක. සමුපකාර ව්‍යාපාරය සඳහා මේ වන විට මෙවැනි මුදුමු මට්ටමේ ඩොමේන් නාමයක් ඇතිකර ඇති අතර එය .coop වේ

සමූපකාර ක්‍රමයේ ඉතිහාසය, විකාශනය සහ මූලික සංකල්ප පිළිබඳ යම් අවබෝධයක් ඔබ ලබන්න ඇතයි සිතමි.

සමූපකාර ව්‍යාපාරයේ ලාංකේය ඉතිහාසය සහ විකාශනය මීළඟ ලිපියෙන් කතා කරමු

~ ප්‍රබුද්ධ ~

#හිතන්නටයමක්

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම