වැඩියෙන්ම ආදරේ ඕනේ කරන කෙනා තම…

, , Leave a comment

වැඩියෙන්ම ආදරේ ඕනේ කරන කෙනා තමයි අනුන්ට ආදරේ වැඩියෙන්ම දෙන කෙනා…..

අපි අතරේ අරුම පුදුම මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. ඒ මිනිස්සු හරි වෙනස් . ඔවුන්ට සහකම්පනය නැත්නම් empathy කියන එක උපරිමේත් උපරිමේට තියනවා.. ඔවුන් අනුන් වෙනුවෙන් කැපවෙන හැටි හරිම පුදුමයි.

ඔවුන් සහ ඔබ අතර සම්බන්ධයක් තියෙද්දී හැම දේම හරි ලේසියට වෙනවා. ඔබට ඔබ ගැන වත් කරදර වෙන්න දෙයක් නැහැ. ඔබේ අවශ්‍යතාව ඒ මිනිස්සු දිවසින් දැකල ඒක ඉටු කරනවා. කාලය එක්ක ඔබට හිතෙන්නේ ඒ අවශ්‍යතා ඉබේ වෙනවා කියල මිස තව කෙනෙක් කරනවා කියල නෙවේ.

ඔබ බොහොම ලේසියෙන් අමතක කරනවා ඒ අසීමිතව දෙන කෙනා මනුස්සයෙක් කියන කාරණාව. ඔබට අමතක වෙනවා ලැබෙන දේට ස්තුති කරන්න. ඔබට අමතක වෙනවා ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම ඒ දේවල් කිරීම කරන්න අවශ්‍ය නැති බව.

ඔබ කවදාවත් ඔබෙන් දේවල් ඉල්ලන , කෑ ගගන, තේරුම් නොගන්නා මිනිස්සුන්ට කරන්න ඕනේ යුතුකම් අමතක කරන්නේ නැහැනේ. මොකද ඒ යුතුකම් නොකෙරුනොත් ලොකු ගැටළුවක්. නමුත් මම අර ඉහත කීව අසීමිතව දෙන මිනිස්සු කොටස එහෙම නැහැනේ. ඒ නිසා ඔබ බොහොම පහසුවෙන් ඔවුන්ට වෙන්න ඕනේ යුතුකම් මගහරිනවා. මගහැරියා කියල ඉතින් ගැටළුවක් නැහැනේ. කිසිම ප්‍රශ්නයක් නැහැනේ.

…………………………………………………………………………………..

බැලු බැල්මට මේක හරි ලේසියි. හැබැයි ඔබ දන්නේ නැහැ එතන ලොකු ගැටළුවක් තියනවා. ඔබ මේ කරන්නේ නැගල ඉන්න අත්ත කපන එක කියල ඔබට තේරෙන්නේ නැහැ.

මේ වගේ සම්බන්ධකමකට සාමාන්‍යයෙන් කියන්නේ 20 : 80 සමබන්ධකම් කියල. ඒ කියන්නේ 20 ක් දීල 80 ක් ගන්න සම්බන්ධකම්. මේ නිසාම මේවා හරි භයානකයි. දෙන කෙනාට නැති වෙන්නේ 20 යි. ඔබට නැති වෙනවා 80 ක්. නමුත් මෙහෙම සම්බන්ධයක් තියෙද්දී අපිට හිතෙන්නේ නැහැ මේ සම්බන්ධකම් කැඩෙන්න පුළුවනි කියල. ඔබ හිතන්නේ…

” අනේ මෙයා මේ මැරීගෙන නහින්නේ මෙයාට මාව ගොඩක් වටිනා නිසයි . මෙයා ගැහුවත් යන්නේ නැහැ”

ඒ මිනිස්සුත් එහෙම කියනවා. ඔබේ වටිනාකම 100 ගුණයකින් වැඩි කරලා ඔබට පෙන්වනවා.හැබැයි එහෙම කියන්නේ ඔබව සතුටු කරන්න, ඔබේ පෞර්ෂය ඉහලට ගන්න කියලත් ඔබට තේරෙන්නේ නැහැ.

මෙවැනි සම්බන්ධයකදී විය යුත්තේ ඔබත් ඒ කෙනාට පෙරලා ආදරය කිරීම..යුතුකම් කිරීම..ස්තුති කිරීම සහ granted නොගැනීම වුනත් අපි කරන්නේ අනික් පැත්ත සාමාන්‍යයෙන්.

……………………………………………………….

වැඩේ කියන්නේ මේ ඒකපාර්ශවික දීම මේ මිනිස්සුන්ට එපා වෙන දවසක් එනවා. ඒක එන්නෙත් ගෙහෙන් ගෙඩි එනවා වගේ කියල ඔබට හිතුනට එහෙම නැහැ. කාලේ එක්ක සිග්නල් ගොඩක් ලැබුනත් ඔබ ඕනෑකමින්ම මගහැරපු සිග්නල් මතක් කරලා නිවිහැනහිල්ලේ තැවෙන්න ඔබට කාලයක් එනවා.

මේ මිනිස්සු සාමාන්‍යයෙන් යන්නේ නැවත නොඑන්නම. ඔබව එක උදයක නැගිටිද්දී අතීතයට ගිහින් erase කරලා දාල වගේ අමතක කරන්න ඔවුන්ට පුළුවන්. එයට හේතුව ඔවුන් සම්බන්ධතා වලදී 100% ක් උත්සහ කරනවා. තවත් කරන්න දෙයක් නැහැ කියන තැනදී ඔවුන්ට සදහටම එපා වෙනවා.

දෙමාපිය / දූදරු, අඹු / සැමි, යහළුවන් අතර මේ වගේ සම්බන්ධකම් තිබෙනවා මා දැක තිබෙනවා. ඔබේ ජීවිතෙත් මෙහෙම කෙනෙක් ඉන්නවා නම් ඔබ දුර්ලභ ගනයේ වාසනාවන්තයෙක්. එහෙම මනුස්සයෙක් ඉඳල යන්න සැලැස්සුවා නම් ඔබ පලවෙනි පන්තියේ අවාසනාවන්තයෙක්.

විශ්වයෙන් ඔබට දුන්න දේට කෘතඥ නැත්නම් ඒ දේ ආපහු විශ්වයෙන් ගන්නවා. ඒ කෙනාට ඔබට දුන් දේවල් ලබන්න තව තැනක් විශ්වය විසින් හොයා දෙනවා.

(උපුටා ගැනීමකි)

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම